කෝටියක රොලෙක්ස් ඔරලෝසුව පන්දහසට විකුණන්න ගිහින් හොරකමේ සුලමුල හෙළි වේ

0
26


ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූවෙක් වන ප්‍රධාන සැකකරු 1994 වර්ෂයේදී එම විද්‍යාලයෙන් ඉහළම උසස් පෙළ ප්‍රතිඵල ලැබූ සිසුවා බව පොලිසිය කීය. ප්‍රධාන සැකකරු වන එම පුද්ගලයාට ඉංගී්‍රසි දෙමළ. සිංහල, අරාබි මෙන්ම හින්දි භාෂාව ලිවීමට මෙන්ම කතා කිරීමට සහජ දක්ෂතාවක් ඇත්තෙක් බවද පොලිසිය කීය. 

කෝටිපති ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් ජනවාරි 27 වැනි දින නිවෙස වසා බේරුවල නිවෙස කරා ගොස් සිටියදී ප්‍රධාන සැකකරු විසින් මෙම නිවෙස බිඳ කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව පවුම් දෙක බැගින් බර වළලු හතරක්, ඇපල් වර්ගයේ අයිපෑඩ් එකක් සොරාගෙන ගොස් තිබිණි. ව්‍යාපාරිකයාගේ නිවෙසට ආසන්නව පිහිටි අත්හැර දමන ලද පාළු නිවෙසක පිහිටි වත්තේ අබලි ද්‍රව්‍ය තිබේදැයි සොයා බැලීම සඳහා පැමිණ තිබූ ප්‍රධාන සැකකරු එම නිවෙස පිටුපසට ගිය අවස්ථාවේදී ව්‍යාපාරිකයාගේ නිවෙස වටා තිබෙන තාප්පයට ඉහළින් වැවී තිබූ ගස්ලබු ගසේ ගෙඩි දෙකක් ඉදී තිබෙනු දැක ඇත. 

එය කැඩීම සඳහා තාප්පයට ගොඩ වූ අවස්ථාවේදී තවත් ගස්ලබු ගෙඩියක් ගස අසල වැටී තිබෙනු දැක එම නිවෙසේ පදිංචිකරුවන් නොමැති බවද තහවුරු කරගත් සැකකරු අනතුරුව නිවෙසේ ප්‍රධාන ‍ෙදාර අසලට ගොස් පා පහරක් එල්ල කළද විවර කරගැනීමට නොහැකි වීමෙන් අනතුරුව විශාල ගලක් ගෙන ‍ෙදාර කඩා ගෙට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී පවුම් දහයක් බර රන් මාලයක් සහ පවුම් පහක් බර රන් තැල්ලක් බිම වැටුණද සැකකරුට ඒ පිළිබඳව හැඟීමක් නොවී අනෙකුත් දේපළ රැගෙන නිවෙසින් පිටවී තිබූ බවත් පොලිසිය පැවැසීය. 

අදාළ සොරකම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා අදාළ භාණ්ඩවල විස්තර සහ ඡායාරූප ඇතුළත් කර භාණ්ඩ 

උකස්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයාට ලිපියක්ද යොමුකර එම දේපළවල ඡායාරූප ඔවුන්ගේ වට්සැප් ගෘෘප් එකටද යෙදීමට කටයුතු කර යම් පුද්ගලයකු එම භාණ්ඩ උකස් තැබීමට හෝ විකිණීමට පැමිණියහොත් දැනුම් දෙන ලෙස දැනුවත් කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව රුපියල් 5000ක  මුදලකට අලෙවි කිරීම සඳහා වැල්ලම්පිටිය උකස් ආයතනයකට ප්‍රධාන සැකකරුගේ මිතුරා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කීය. 

එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා සන්තකයෙහි ඇපල් වර්ගයේ අයිපෑඩය තිබුණු බවත් ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මරදාන ප්‍රදේශයේ ආයතනයකට උකස් තබන ලද රන් වළලු උණු කර තිබියදී ග්‍රෑම් 28ක ප්‍රමාණයක් සොයා ගැනීමටත් හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. මීට අමතරව රන් භාණ්ඩ උකස් තබා ලබා ගත් මුදලින් රුපියල් පනස් දහසක් පමණ ගෙවා මිලදී ගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් මෙන්ම රුපියල් තිස් දාහක මුදලක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ඉස්ටේට් පුර පදිංචි වයස අවුරුදු 34 හා 39 පසුවන්නන්ය. 

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, උප පොලිස් පරීක්ෂක මනතුංග පොලිස් කොස්තාපල්වරුන් වන සිල්වා (22929) සුදීර (77424) යන නිලධාරීහු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. 

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

කොළඹ – ජයසිංහ