කුඹුරුවල ඉතුරු වෙන පිදුරු තිබිලත් විභාග තියන්න කඩදාසි නැත්තේ ඇයි ?

0
64

ආදරණීය බ්‍රෝවරුණි, ඔබ අද සතුටින් දැයි මම අහන්නේ නෑ. මොකද සතුට කියන දේ එකිනෙකාට සාපේක්ෂ දෙයක් නිසා. හැබැයි, ඕනෑම දුක්බර අවස්ථාවක වුණත් සතුටු වීමට හොඳ හැකියාවක් ශ්‍රී ලාංකිකයන්ට තියෙනවා. ඒ කියන්නේ නැව ගිලුනත් බෑන් චූන් වර්ගය ලංකාවේ වැඩියි. මම අද ඔයාලත් එක්ක සෙට් වෙලා කතා කරන්න හදන්නෙ හිනා වෙලා අමතක කරන්න හැදුවත් පසුකාලීනව අඬන්න වෙන දෙයක් ගැන. ඔයාලා වගකීම් සහගත පුරවැසියො විධියට එදිනෙදා රටේ ලෝකයේ සිදුවෙන දේවල් ගැන අප්ඩේට් නිසා ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති බස්නාහිර පළාතේ වාර විභාග තියන්න අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ප්‍රින්ට් කරන්න වුවමනා කඩදාසි නැති නිසා වාර විභාගය කල් දාන්න සිදු වෙනවා කියලා මාධ්‍ය වාර්තා පළවීම ගැන. හැබැයි, පස්සෙ සුපුරුදු විධියට විභාගය පවත්වන බවත් නිවේදනය කළා. නමුත්, කඩදාසි නැතිවීම නිසා වාර විභාගය කල් දාන්න සිදුවෙනවා කියලා කියපු නිසාම  නුදුරු අනාගතයේදී නැවතත් වෙනස්ම විධියට මේ ගැටලුව මතුවෙන්න පුළුවන් කියන කාරණාව පැහැදිලියි.

අපි හැමෝම වගේ නිදහස් අධ්‍යාපනයේ දරුවෝ නිසාත්, ශ්‍රී ලාංකිකයන් වීම නිසාත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මොන විධියට වෙනස් විය යුතුද කියල කතා කරන්න වගේ අධ්‍යාපනයට අඩු සැලකිලි ලැබෙනවනම් ඒ ඇයි කියල අහන්නත් දෙපාරක් හිතන්න ඕන නෑ. 1939 අංක 31 අධ්‍යාපන ප්‍රඥප්තියත්, 1945 අංක 21 නිදහස් අධ්‍යාපන පනතත් කියන පනත් දෙක ලංකාවේ අධ්‍යාපනයට බලපෑවා. ඔයාල හැමෝම දන්න කන්නන්ගර මහත්මයා ලංකාවේ ඒ වෙද්දී තිබුණු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ගත්ත උත්සාහය නිසා ලංකාව මේ විධියට හරි ඉතිරිවෙලා තියෙනවා.

පොඩ්ඩක් හෝව්! හැබැයි ප්‍රශ්නයක් තියෙනවා වගේ නේද? 1945 පටන්ගත්ත ක්‍රමයක් දැන් කාලයට ගැළපෙනවද? වෙනස් වෙන්න ඕන නැද්ද? ඔය කලින් කියපු ප්‍රශ්න පත්‍ර ප්‍රින්ට් කරන්න කඩදාසි නැති නිසා වාර විභාගය කල් දාන්න වෙන්නෙ ඇයි? මේවාට විස¾දුම් අධ්‍යාපන විශේෂඥයන්ම ‍යෝජනා කරන්න ඕන වුණත් අපිත් පොඩි අයිඩියා එකක් ඔළුවෙ තියාගෙන ඉන්න එක හොඳයි.

බ්‍රෝස්ලා දන්නවද ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ කොහෙද කියලා? ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ අයිතිය නිල නොවන විධියට ෆින්ලන්තය අයිති කරගෙන තියෙනවා. එහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි නෙවෙයි එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා. මූලිකම හේතුව තමා පාසල් සිසුවා මූලික කරගත්ත අධ්‍යාපනය, අනෙක් කාරණය තමයි ළමයින්ට එයාලා ලබා දෙන නිදහස. ෆින්ලන්තයේ අවුරුදු 9 ඉඳන් 17 වෙනකම් කිසිම තරගකාරී ජාතික විභායක් නැහැ. හැබැයි කැම්පස් එකට තෝර ගන්න නම් විභාගයක් තියෙනවා. අපේ රටේ දැනට පවතින ක්‍රමය ගැන බැලුවොත් විනාඩි 40 කාලච්ජේද 10ක් තියෙනවා පන්තියක ළමයි 40ක් වත් ඉන්නවා. ෆින්ලන්තයෙ ක්‍රමය තමා පන්තියකට උපරිම ළමුන් ඉන්නෙ 20යි. විනාඩි 45 කාලච්ජේද 5ක් විතරයි. ඒ කියන්නෙ උපරිම පැය 3යි විනාඩි 45ක් විතරයි. ඉතිරි කාලය දරුවන්ගේ ක්‍රීඩා සහ අනෙක් කුසලතා වර්ධනය කරගන්න වෙන්කරල දීලා තියෙනවා. ඒ වගේම ෆින්ලන්තයේ ගුරුවරයෙක් වෙන එක ලේසි නෑ. ඒකට අදාළ ගුරුවරයා ළමා මනෝ විද්‍යාව පිළිබඳව හදාරලා තියෙන්න ඕන වගේම තමන්ගේ විෂයට අදාළව පශ්චාත් උපාධියකුත් තියෙන්න ඕන. පඩියත් ඉතින් ඩොලර් 37500ක් විතර වෙනවා. ලංකාවෙ රුපියල්වලින් වැටුප කීයක් වෙනවද කියල ඔයාලම හදාගෙන බලන්න. වැදගත්ම දේ තමයි එයාලා අධ්‍යාපනයට අය – වැයෙන් 7%ක් වෙන්කරනවා අනිවාර්යයෙන්ම.

ආයෙත් අපි ලංකාව ගැන බැලුවොත් පාසලට ඇතුළත් කිරීමේ සිට තියෙන්නේ තරගකාරීත්වය. විශාල පෙළපොත් ගණනක්, නිදහස සීමාවෙන ළමා කාලයක්. ඇත්තෙන්ම කිව්වොත් පාසලේ ආරම්භයේ ඉඳලම පොත් මේසයට නැමුණු හිසක් තමයි පාසල් දරුවට තියෙන්නේ. ඒ නිසා පේපර් ප්‍රින්ට් කරන්න කඩදාසි නැති හේතුවෙන් වාර විභාග කල්‍දැමීම එයාලට සතුටක් වෙන්න පුළුවන්. ඒකනෙ වැඩිහිටියන්ගෙ Facebook  එකෙත් පෝස්ට් වැටුණේ අපි පොඩිකාලෙ බලන් හිටපු දේවල් දැන් වෙනවා කියලා. පේපර් ප්‍රින්ට් කරන්න කඩදාසි නැති වෙන්න මූලික හේතුව රටේ දැනට තියෙන ඩොලර් හිඟය බව රහසක් නෙවෙයි. හැබැයි, රටකට අවශ්‍ය කඩදාසි ටික නිෂ්පාදනය කරගන්න බැරිවෙන එකනම් විශල ගැටලුවක්. රටේ කුඹුරුවල ඉතිරිවෙන විශාල පිදුරු තොගයක් තියාගෙන, ශ්‍රී ලංකා කඩදාසි සංස්ථාවකුත් තියාගෙන තමයි මේ අවශ්‍යතාව ඉටු කරගන්න බැරිවෙලා තියෙන්නේ. ඒ කියන්නෙ රටේ අවශ්‍ය කරන සියලුම සම්පත් තිබියදී තමයි මේ ගැටලුවට මුහුණ දෙන්න සිදුවුණේ.

මේකට තියෙන කෙටිකාලීන විස¾දුම විධියට කොහොම හරි පේපර් ප්‍රින්ට් කරන එක හඳුදුන්වලා දෙන්න පුළුවන් වුණත් දිගුකාලීන විස¾දුමක් විධියට යෝජනා කරන්න තියෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විතරයි. ඒකෙදී, ලංකාවට ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගෙඩිය පිටින් අදාළ කරගන්න අපහසු වුණත් ඒ සංකල්ප බොහෝමයක් අදාළ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ගොඩක් වැදගත්. නිකන්ම ගිරවා දාලා විභාග ලියනවට වඩා දරුවා තමන්ගේ කැමැත්ත තියෙන අංශයෙන් තමන්ම ඉගෙන ගන්නව නම් කොච්චර හොඳද? කෙවිටක් අරන් උඹලා මෙහෙම තමා ඉන්න ඕන කියල වැඩිහිටියන්ට වුවමනා පාරක හසුරුවන, කිසිම හැඟීමක් දැනීමක් නැති රොබෝවරුන් නිර්මාණය කරනවට වඩා දැනුමත් මානුෂීය ගුණාංගත් එකතුවෙලා නිර්මාණය වෙන ලෝකය හරිම ලස්සනයි. 

ඇයි කලින් එහෙම වුණේ නැද්ද? 

අපි වරදක් කළාම ගුරුවරු අපිට ගහල හැදුවෙ අපිව හදා ගන්න නෙවෙයිද? 

කියලා කට්ටිය දැන් අහයි. මට අහන්න තියෙන්නේ දැන් ඔය කියන කට්ටිය හැදිලද කියල විතරයි. උත්තර ඔව් නම් ඔහොමම ආපහු හැරිල මෑතකාලීන අතීත බලන්න ගුටිකාලා හැදුණු දරුවන්ගෙ දස්කම්. ෆින්ලන්තය තමන්ගේ දරුවන්ට උගන්වන්න උපරිම සුදුසුකම් තියෙන ළමයා පිළිබඳව හැඟීමක් තියෙන ගුරුවරුන්ව තෝරගන්නෙ දරුවා දඬුවම තුළින් නෙවෙයි අධ්‍යාපනය තුළින් හික්මවිය යුතු නිසයි.

ලංකාවෙ පාසල් ප්‍රමාණය 10,115ක් සහ ජාතික පාසල් 373ක් තියෙනවා. මේ ප්‍රමාණය තුළින් සැලකිය හැකි වෙනසක් කරන්න පුළුවන්. හැබැයි, ඒ දේ කරන්න ඒ හැම පාසලකටම සමාන අවස්ථා සහ පහසුකම් තියෙනවද කියන එක ගැටලුවක්. මෑතකදී ජාතික පාසල් විධියට නම් කරපු බොහෝ පාසල්වලට එකතු වුණේ ජාතික පාසල් කියන බෝඩ් ලෑල්ල විතරයි. ඒවට අවශ්‍ය පහසුකම් පසුව හෝ ලැබේවි කියල අපි දැනට හිතමු නේද බ්‍රෝ. අර කලින් කියපු කාරණා නිසයි ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග ලංකාවට ආදේශ කරගන්න ඕන කියන්නෙ. කෙසේ වෙතත් දරුවාගේ නිදහස, අධ්‍යාපනය ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ගැන කතා කරන්න ඩොලර් නැතිවීම නිසා පේපර් ප්‍රින්ට් කරන්න නොහැකි වීම කියන කාරණයම ඇති නේද බ්‍රෝවරුනි. 

ඉතින් හිතන්න!

චතුරංග හතුරුසිංහ