කුට්ටිගල වලව ගඟ රක්‍ෂිතයේ වැලි ජාවාරම එස්.ටී.එෆ්. වටලයි

0
23


එම වැටලීමේදී ගඟ රක්‍ෂිතයේ බලපත්‍ර නොමැතිව ජේ.සී.බී. යන්ත්‍රයක් යොදා වැලි කැණීම් කරමින් සිට ඇති අතර එහිදී ජේ.සී.බී. යන්ත්‍රයන් තම භාරයට ගෙන එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

අත්අඩංගුවට ගත් විසි එක්  හැවිරිදි සැකකරු ලුනුගල, පල්ලේකිරුව, වේරගොඩ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා ජේ.සී.බී. යන්ත්‍රයේ ක්‍රියාකරු බවත් මෙහෙයුම් එස්.ටී.එෆ්. නිලධාරීහු පැවැසූහ. කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජේ.ජී. වීරසේකර මහතාට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව මෙහෙයුම සිදු කළ බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවැසූහ.

වලව ගං ඉවුර කාලයක් තිස්සේ වැලි ජාවාරම්කරුවන්ගේ පාරාදිසියක් බවට පත්වීම හේතුවෙන් එම ස්ථානයට විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බවත් එම නිසා එම ස්ථානය ආරක්‍ෂා කරදෙන ලෙස ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරේ සඳහන් වූ බව විශේෂ කාර්ය බළකාය පවසයි. තම භාරයට ගත් ජේ.සී.බී. යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා කුට්ටිගල පොලිසියට භාරදී තිබේ.

හම්බන්තොට, ගාල්ල අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ.වී. දිසානායක, උඩවලව ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි අයි.එස්.ටී. පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක යූ.ජේ.පී. වීරසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් සැරයන් සාගර (16202), පොලිස් කොස්තාපල්වරුන් වන ගුණවර්ධන (75747), මධුසංක (10000), දීපංක (90725), බණ්ඩාර (94198), මධුෂාන් (94213), ප්‍රේමරත්න (96716), ජයපත්ම (90610) යන නිලධාරීන් මෙහෙයුමට සම්බන්ධ වී ඇත.

පල්ලේබැද්ද – සිසිර පීල්ලදෙණිය