කසළ එකතු කරන සේවකයන් ඇතැම් ස්ථානවලින් මුදල් බලාපොරොත්තු වෙනවා

0
18

අපගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන අඩුආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ලබාදීමට රුපියල් විසිපන් ලක්ෂයක මුදලක් වැය කිරීමට හා අඩු ආදායම්ලාභී පවුල්වල ස්වයං රැකියාවල නියුතු කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් වැය කිරීමට කටයුතු කර ඇතැයිද ඒ සඳහා වැයවන මුදල තිරසර සංවර්ධන ව්‍යාපෘති යටතේ 2022 අයවැය මඟින් වෙන් කළ මුදලින් ලබා ගන්නේ යැයිද මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මිය (ශ්‍රී .පො.ජ.පෙ.) පැවසුවාය. 

සභාපතිනිය එසේ පැවසූවේ මහර ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ පැවැති මහර ප්‍රාදේශීය සභාවේ මෙවර මාර්තු මාසික සභා රැස්වීමේදීය.

මෙම රැස්වීම සභාපතිනි සුදීමා චාන්දනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර පසුව සභාපතිනිය රාජකාරි කටයුත්තක් සඳහා නික්ම යෑමෙන් පසුව එහි මුලසුන උප සභාපති අජන්ත වික්‍රමආරච්චි මහතා (ශ්‍රී .පො.ජ.පෙ.) ඉසිලීය. මෙහිදී අභාවප්‍රාප්ත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි නිමල් දෙහිවත්ත හා ප්‍රාදේශීය මාධ්‍යවේදී ධම්මික නිමලසූරිය යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳව ශෝකය පළ කෙරුණි.

චාල්ස් වීරසේකර මහතා (එ.ජා.ප.) – කසළ එකතු කරන කාර්යයේ යෙදෙන ඇතැම් සේවකයන් කසළ එකතු කරන්නට ගියාම ඇතැම් ස්ථානවලින් මුදල් බලාපොරොත්තු වෙනවා. එය සභාවටද අපකීර්තියක් වෙනවා. කෙනෙක් කැමැත්තෙන් දෙන මුදලක් ලබා ගත්තාට ප්‍රශ්නයක් නැහැ. මුදල් ඉල්ලීම සුදුසු නැහැ. මේ ගැන එම සේවකයන් දැනුවත් කළ යුතුයි. 

නීතිඥ කීර්ති විජේසුන්දර (පො.ජ.පෙ.) – ගනේමුල්ල – කඩවත ප්‍රධාන මාර්ගයේ කමාන්ඩෝ හමුදා කඳවුර ඉදිරිපිටින් තිබෙන අතුරු මාර්ගයේ බෝක්කුව අබලන් වී සැහෙන කලක් ගත වෙනවා. එතැන දැන් අනතුරුදායකයි. එම බෝක්කුව ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය කරන්න. 

සිරිමල් ශාන්ත කුමාර (ශ්‍රී ල.නි.ප.) – ඇටිකෙහෙල්ගල්ල සුසාන භූමිය මැදින් පාරක් කපලා. නාරන්වල සුසාන භූමියේ ගස් වගයක් කපලා. මේවා සුසාන භූමි පනතට පටහැනියි. මේ ගැන සොයා බලන්න. 

ප්‍රසාද් නිරෝෂන් අබේරත්න (ජ.වි.පෙ.) – ඇටිකෙහෙල්ගල්ල සුසාන භූමිය ඩෝසර් කිරීම නීත්‍යානුකූල නම් ලියකියවිලි ඉදිරිපත් කරන්න. නාරන්වල සුසාන භූමියේ ගස් කැපීම ගැන සභාව දැනුවත් නැහැ. එහි මුදල් අවභාවිතයක් සිදු වී තිබෙනවා. 

අමිත් ශි්‍රයන්ත පෙරේරා (පො.ජ.පෙ.) – පින්නමැද ප්‍රදේශයේ අලුතින් ඉදිකරන සේවා පියසේ හා එඩේරමුල්ල බටහිර තේවත්ත ප්‍රජා ශාලා භූමියේ ඉදිකරන සේවා පියසේ ඉදිරි වැඩ කටයුතු කර ගැනීම සඳහා තවත් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දෙන්න.

විපක්ෂ නායක සයිෆුල් හාරිස් (එ.ජා.ප.) – රජයේ ප්‍රතිපාදන මුදල්වලින් ඉදිවන එඩේරමුල්ල බහු කාර්ය ගොඩනැඟිල්ල ඉදිවන භූමිය ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයිතියි. එම භූමිය සභාවට ලබා ගැනීමට කටයුතු කරන්න. 

පියරත්න ෆොන්සේකා (ශ්‍රී පො.ජ.පෙ.) – කැන්දලියද්දපාලුව – බටහිර ගැමුණු මාවතත් ගල්වලහන්දියත් අතර ඇති සමුපකාරයට ඉදිරි මාරගහවත්තට තිබෙන මාර්ගයට නමක් නැහැ. ඒ හේතුවෙන් එම මාර්ගයේ වෙසෙන පවුල් රාශියකට විවිධ අපහසුතාවලට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. ඒ නිසා එම මාර්ගය “සදරැස් මාවත” නමින් නම් කරන ලෙසට ඉල්ලනවා. එයට කවුරුවත් විරුද්ධ නැහැ. 

ඊවා ශි්‍රයානී (එ.ජා.ප.) – දනව්කන්ද රක්ෂිතය පෞරාණික වටිනාකමක් තිබෙනවා. අපි එය රැක ගත යුතුයි. ඒ නිසා දනව්කන්ද සංරක්ෂණ කිරිමේ කටයුතු කඩිනම් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. 

උප සභාපති අජන්ත වික්‍රමආරච්චි (පො.ජ.පෙ.) – රජයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක්ම මහරට ලැබී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී මහර විශාල සංවර්ධනයක් සභාව හරහා සිදු වෙනවා. 

රොහාන් රොයිස් (එ.ජා.ප.) – වරිපනම් බදු එකතු කරන නිලධාරීන් දැනුවත් කොට වරිපනම් බදු එකතු කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඕනැ. 

ගාමිණි මදුරප්පෙරුම (පො.ජ.පෙ.) – ඇල්දෙණිය ප්‍රදේශයේ මාර්ගයක අවහිරයක් වන ලෙසට ඉදිකර තිබෙන අනවසර බාධක සියල්ල ඉවත් කරන්න. මෙය පොදු මාර්ගයේ ඉදිකර තිබෙන බැවින් උසාවි නියෝගයකින් තොරව එම ඉදිකිරීම් ඉවත් කිරීමට හැකියාව තිබෙනවා.

බියගම – කේ. දුමින්ද