කඳුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මඟ ඉදිකෙරෙයි

0
19


බිබිල – නඳුන් ගුණතිලක

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාර  මත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ ප්‍රථම කඳුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ග ඉදිකිරීමට උෟව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරි සම්පත් නිශ්ශංක මහතා පැවැසීය. ඒ සඳහා යුරෝපා සංගමය මඟින් රුපියල් බිලියන 1.3ක  මුදලක් වැය කෙරේ. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් නිශ්ශංක මහතා මෙසේද කීය. උෟව හා මධ්‍යම පළාත සම්බන්ධ කර ගනිමින් ඉදිකරන ඇවිදින ප්‍රවේශ මාර්ගය කිලෝමීටර් තුන්සියයකින් හා නැවතුම් ස්ථානවලින් සමන්විත වෙනවා. මෙම ඇවිදීමේ ගමන මහනුවර, හන්තාන ප්‍රදේශයෙන් ආරම්භ කර පේරාදෙණිය, ඇඩම්ස් පීක්, ගේ්‍රට් වෙස්ටර්න්, නානුඔය, එන්ජින් දිය ඇල්ල, ශ්‍රී පාදකන්ද, ශාන්ත ක්ලෙයාර් ඇල්ල, සුළං කපොල්ල, පට්ටියපොළ සමිට් ලෙවල්, ඔහිය බිංගය, ඔහිය, ඉදල්ගස්හින්න, වින්ඩිස් බේ්‍රක්, හපුතලේ, නායබැද්ද, කිතල්ඇල්ල, ආරුක්කු නවයේ පාලම, ඇල්ල, ඇටම්පිටිය, උෟව පරණගම, උඩුපුස්සැල්ලාව, රාගල, නුවරඑළිය දක්වා දින 22ක් ගමන් කිරීමට නියමිතයි.

කඳුකරයේ දුම්රිය මාර්ගයට සමාන්තරව ඇති අලංකාර තේ වතු වනෝද්‍යාන මතින් ඇවිදීමේ ගමන් මාර්ගය ඉදිකර සංචාරකයන්ට අවශ්‍ය ආහාරපාන හා නේවාසික පහසුකම් ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට යූලීඩ් ආයතනය, සංචාරක අමාත්‍යාංශය, උෟව හා මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය දායකත්වය ලබා දෙනවා.

ඇවිදින ප්‍රවේශ මාර්ගය නිරීක්‍ෂණය කිරීමට උෟව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන විධායක නිලධාරි සම්පත් නිශ්ශංක, යුලීඩ් ආයතනයේ මිගේ‍ර්ල් කුනාඩ්, ඒ. ලිංගනාදන්, විශ්නාදිනී ප්‍රනාන්දු පිරිස සමඟ හපුතලේ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිස ඔහිය සිට හපුතලේ දක්වා සැතපුම් 15 දුර ඉකුත්දා (24දා) පා ගමනින් ඇවිද මාර්ගය නිරීක්‍ෂණ කටයුතුවල නිරත 

වූහ.