එන්.එම්.ට මොළ හතක් නොතිබුණත් එතුමා මුදල් ඇමැති ලෙස ජනතාවට බරක් නොදී ආර්ථිකය පාලනය කළා

0
29

කැලණිය – කුසුම් එස්. හැන්නදි 

මීට වසර පනහකට පෙර මේ රට පාලනය කළ සමගි පෙරමුණ රජයේ හිටපු මුදල් ඇමැති ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාට මොළ හතක් නොතිබුණත් එතුමා මුදල් ඇමැතිවරයා ලෙස ඉතා සූක්ෂ්ම අන්දමින් ජනතාවට බරක් නොදී මේ රටේ ආර්ථිකය පාලනය කළා. 

අපේ රටේ වත්මන් පාලකයන්ට ආචාර්ය එන්.එම්. පෙරේරා සූරීන් කියන මහා විද්වත් චරිතයෙන් බොහෝ ආදර්ශ ගත හැකි යැයි ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පෑලියගොඩ රෝහණ විහාරාධිපති උෟරාපොළ පේමසිරි හිමිපාණෝ පැවැසූහ. 

පෑලියගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරීන් එක්ව සිටි පින්කමකදී ඉතිරි කිරීමේ අගය පිළිබඳ පැහැදිලි කළ උන්වහන්සේ මෙසේද පැවැසීය. 1971 අංක 30 දරන පාර්ලිමේන්තු පනත සම්මත කරලා 1972/3/16 වැනිදා තමයි මේ බැංකුව ආරම්භ කළේ. ඒත් බැංකුවට සල්ලි එන ක්‍රමයක් ඕනනේ. 

අපේ පැරැණි වැඩිහිටියෝ මුදල් සුරක්ෂිත කළේ පෙට්ටගම් පතුලෙ හංගලා. එදා මූල්‍ය ආයතන තිබුණේ නැහැ. අද වගේම එදත් ජනමාධ්‍ය ඔවුන්ගේ වගකීම ඉටුකළා. කාටූන් ශිල්පීන් කියන්නේ අපූරු අන්දමින් රටේ ප්‍රශ්න දකින අය. ඒ කාලේ දවස පත්තරේ පළ වුණා අපූරු කාටූන් එකක්. ආච්චි අම්මා කෙනෙක් ගිහින් පෙට්ටගම අරිනකොට මීයෝ එහේ මෙහේ පනිනවා. පෙට්ටගමේ ඉඳලා බලනකොට පතුලෙ දාපු සල්ලි කොළ ඔක්කොම මීයෝ කාලා. මේක ගැමි ජනතාවගේ හිතට තදින්ම කාවැදුණා. ආචාර්ය එන්.එම්. පෙරේරා සූරීන්ට ආචාර්ය උපාධි දෙකක් තිබුණු කෙනෙක්. එතුමා දුරදක්නා නුවණින් ක්‍රියා කරලා එවකට භාවිත කළ පැරැණි රුපියල් 50, 100 කොළ අවලංගු කරන බවත් ඒ මුදල් ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කරන ලෙසත් ජනතාවට දැනුම් දන්නා. ජනතාව වැල නොකැඩී ඇවිත් පෙට්ටගමේ හංගපු මුදල් බැංකුවේ තැන්පත් කළා. බැංකුව ගමින් ගමට ගියා.

අපේ රට වගේ සශ්‍රීක රටක් මේ ලෝකෙ නැහැ. අපි අද අසරණ වෙලා ඉන්නේ හැත්තෑ තුන් වසරක් මේ රට පාලනය කරපු නායකයන්ගේ වරදින්. ඒ අතරින් ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක කියන චරිත දේශපාලනයෙන් කූට ලෙස මුදල් හොයා නොගත් සැබෑම දේශප්‍රේමීන්. ඩඩ්ලි සේනානායක මහත්තයා අභාවප්‍රාප්ත වුණාට පස්සේ බලද්දී එතුමාගේ ගිණුමේ තිබුණේ රුපියල් පහයිලු. අද අපේ රටේ නායකයන්ගේ ගිණුම් තියෙන්නේ විදේශ රටවල, පසුගියදා ඒක ඔප්පු වුණේ පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය කිරීමෙන් යැයිද උන්වහන්සේ පැවැසීය.