එජාපයට සමාජවාදී හෙවණැල්ලක් මුසු කළ නායකයා එම්.ඩී.එච්.

0
14

මහබාලගේ ‍ෙදාන් හෙන්රි ජයවර්ධන මැතිතුමා 1915 මාර්තු 29 දින පාදුක්කේදී උපත ලැබීය. එතුමාගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ එම්. ඩී. එස්. ජයවර්ධන මහතාය. මව එච්. ඩී. සිලිදා හාමිනේ මහත්මියයි.

එතුමා ජනතාව අතර ජනප්‍රිය වූයේ එම්. ඩී. එච්. නමිනි. එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමා ජන හදවත්වල අරක්ගත් ජන නායකයකු විය. එතුමාට මිතුරන් ආමන්ත්‍රණය කළේ හැරී යන නමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා පවා එතුමාට ආමන්ත්‍රණය කළේ හැරී කියාය.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය හමුවේ එම්. ඩී. එච්. වැනි දේහපාලනඥයන්ගේ අගය වඩාත් දැනේ. වර්තමානයේ වඩාත් කතාබහට ලක්වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ධ්ර්ජ්) එතුමා ඉහළ පදවියක් දරා ඇත. 1954දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවේ අධිපති ලෙස එතුමා සේවය කර ඇති අතර කොළඹ ක්‍රමය වෙනුවෙන් ඔටාවා සහ වොෂින්ටන් පුරවලට ගොස් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍ය ගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පසු මුදල් අමාත්‍ය පදවියට පත්ව ඇත්තේ එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමාය. එතුමාගේ ප්‍රතිපත්තිය වූයේ ශ්‍රී ලංකාව විදේශ ආධාරවලින් තොරව සංවර්ධනය කළ යුතු බවයි. දැඩි මූල්‍ය විනයක් පැවැතිය යුතු බව එතුමාගේ අදහස විය. එතුමාගේ මෙම යහපත් ප්‍රතිපත්ති නිසාද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ වෙනත් සංවර්ධන කටයුතු බෙහෙවින් සාර්ථක විය. රටේ පිබිදීමක් ඇති විය. එකල පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ළාබාලම මුදල් අමාත්‍යවරයා වූයේ එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමාය.

වර්තමාන දේශපාලනඥයන්ට එම්. ඩී. එච්. පරමාදර්ශී චරිතයකි. එතුමා දේශපාලනයෙන් මුදල් හරිහම්බ කළේ නැත. එතුමා සතුව තිබූ දේපළ මහජනතාවට පිරිනැමීය. එතුමා උපතින්ම ධනවතෙකි. එකල බොහෝ සැප සම්පත් විඳින්නට සියලු දෙයින්ම ආඪ්‍ය වූ ජයවර්ධන මැතිතුමා සියල්ල පසෙකලා දේශපාලනයට පිවිසියේ ජනතාවට සේවය කරන්නටය.

එම්. ඩී. එච්. උගතෙකි, බුද්ධිමතෙකි, ආර්ථික විශේෂඥයෙකි. ශ්‍රී ලංකාවේ සිලෝන් යුනිවර්සිටි කොලේජ්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ එතුමා එක්සත් රාජධානියේ ලින්කන් ඉන් ආයතනයේ අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බැරිස්ටර්වරයකු ලෙසිනි. 

ශ්‍රී ලංකාවට පැමිණි එතුමා ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වී කටයුතු කර ඇත. එතුමාගේ පියා බලාපොරොත්තුව සිටියේ තම පුත්‍රයා එම උසස් රැකියාව කරමින් තමන්ගේ වතු යායවල් ඇතුළු වටිනා දේපළ පාලනය කරමින් තව තවත් එම දේපළ සහ වස්තුව වර්ධනය කරමින් කටයුතු කරනු ඇතැයි කියාය.

එහෙත් එතුමා තමන් උපන් රටේ ජනතාවට සේවය කිරීමට දේශපාලනය තෝරා ගත්තේ මවුපියන් මවිතයට පත් කරමිනි. ඒ එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වෙමිනි. ජාතියේ පියාණන් වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ බලවත් ඉල්ලීම පරිදි එතුමා එම තීරණය ගෙන ඇත.

1956 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට ලක්වී ආසන 08කට සීමාවූ අවස්ථාවේ පක්‍ෂය නැවත ගොඩනැඟීමට ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරු ඇතුළු පක්‍ෂයේ නායකයන්ට මහත් ශක්තියක් වූයේ එම්. ඩී. එච්. ය. පක්‍ෂයේ මහලේකම් ධුරය භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවක එතුමා ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආරාධනයෙන් නොපැකිලිව එම අභියෝගය භාර ගත්තේය. ඉන්පසු පක්‍ෂය නැවත ශක්තිමත් විය. පක්‍ෂය වටා ජනතාව ඒකරාශී වෙමින් පක්‍ෂය ජයග්‍රහණය කරා රැගෙන යෑමට එක් නියමුවකු වූයේ එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමාය.

එතුමා කැබිනට් අමාත්‍ය තනතුරු කිහිපයක්ම එක් එක් වකවානුවලදී දැරූ අතර අදාළ විෂයෙහි කැපවීමෙන් කටයුතු කළේය. මුදල්, සෞඛ්‍ය වැවිලි කර්මන්ත ඉන් ප්‍රධානය. තවද ජාතික රජය විසින් ප්‍රථමවරට පිහිටුවන ලද විද්‍යා පර්යේෂණ සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරයද එතුමාට පැවැරිණි. එතුමා නියෝජනය කළ හොරණ, කොට්ටාව, කඩුවෙල මැතිවරණ කොට්ඨාසවල පදිංචි ජනතාවටත් රටටත් විශාල සේවයක් ඉටු කළේය.

කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ නවගමුව, තලංගම, අතුරුගිරිය රෝහල් ඉදිකිරීම, කඩුවෙල බියගම යාකළ රාජසිංහ පාලම ඉදිකිරීමට කටයුතු කළ එතුමා කඩුවෙලට උදාගම් 03ක් ලබා දුන්නේය. ජයවඩනගම ඇතුළු නිවාස ක්‍රම ඉදිකර දුන්නේය. මේවා ප්‍රධාන කාර්යයන් පමණි. එතුමා රැකියා දහස් ගණන් ලබාදී මිනිසුන්ගේ ආර්ථිකය ස්ථාවර කළේය.

බෞද්ධ කටයුතු පිළිබඳ මහත් ළැදිකමින් කටයුතු කළ එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමා පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සභාපති ලෙසද මහාබෝධි සමාගමේ කාරක සභිකයෙක් හා පාලක මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද කටයුතු කළේය. වෙහෙර විහාරස්ථානවලට අසීමිතව උපකාර කළේය.

ජයවර්ධන මැතිතුමා සමාජවාදී ජර්මන් ජනරජයේ සහ ජපන් රජයේ මිත්‍රත්ව සංගම්වල සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

එතුමා දේශපාලනයේ දැවැන්තයකු වූවා සේම එ.ජා.ප.ය ධනපති රාමුවෙන් අෑත්කර සමාජවාදී මාවතට යොමු කළ ශේ‍ර්ෂ්ඨයෙකි. උසට සරිලන මහතකින් යුක්තව සිටි එම්. ඩී. එච්. සෑම තැනකදීම කැපී පෙනුණේය. එතුමා අලින් අතර දළ ඇතෙකි. යකාටවත් බය නැති එම්. ඩී. එච්. අසාධාරණයේදී අයුක්තියේදී නාගයකු සේ කිපුනි.

මානව හිතවාදී විශිෂ්ට පුද්ගලයකු වූ එම්. ඩී. එච්. කඩුවෙල ආසනයේ නොගිය ගෙයක් නැත. මහා මාලිගාවටත් දුප්පත් පැලටත් ඔහු ගොඩවූයේ නිහතමානී මිනිසකු ලෙසය.

මේ කීර්තිමත් දේශපාලනඥයා 1986.09.29 දින දැයෙන් සමුගත්තේ වසර 71ක් ආයු වලඳමිනි. 2022 මාර්තු 29 දින (අද) කඩුවෙල නගරයේ එම්. ඩී. එච්. පිළිරුව අබියස එතුමා සමරමින් චාම් උත්සවයක් පැවැත්වීමට කඩුවෙල ජනතාව කටයුතු යොදා ඇත.

නාගරික මන්ත්‍රි චන්ද්‍රසේන පලිහේන