ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක්: පාර්ලිමේන්තු විවාදය අනිද්දා

0
236

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එළඹෙන බ්‍රහස්පතින්දා (මාර්තු 31) මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ආරම්භ වන අතර දින හතක් ඇතුළත ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව ය.

රටේ ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කර ඇතැයි අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන අතර විපක්ෂ නායක ෂෙබෙස් ෂරීෆ් විසින් පසුගිය සඳුදා (මාර්තු 28) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංගය යෝජනා කර ඇත.

පකිස්ථාන විපක්ෂය පවසන්නේ, ඉම්රාන් ඛාන් පාලනයෙන් ඉවත් කරවීම සඳහා ආසන 342න් ආසන 172 ක ඡන්දය ඔවුන්ට හිමිව ඇති බව ය.

විපක්ෂය නියෝජනය කරන පකිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමින් හැඳින්වෙන පක්ෂයක් ඉම්රාන් ඛාන්ගේ සභාග හවුල්කරුවන් ද සිය මතය සඳහා පොළඹවා ගැනීමට උත්සාහ දරමින් සිටින අතර ඇතැමුන් ඔහු හැර යාමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම විශ්වාසභංග යෝජනාව පැමිණ ඇත්තේ ඉම්රාන් ඛාන් සිය පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සහ දේශපාලන සගයන්ගේ සහය ඇතිව විශ්වාසභංග ප්‍රයත්නය පරාජය කරන බවට රැලියකදී පොරොන්දු වීමෙන් දිනකට පසුව බව ය.

ඉරිදා දිනයේදී ඔහු පවත්වා ඇති එම රැලියට ප්‍රතිචාර වශයෙන් විපක්ෂ සන්ධානයක් සඳුදා දිනයේදී ඉස්ලාමාබාද්හි දැවැන්ත රාජ්‍ය විරෝධී රැලියක් ද පවත්වා ඇත.

සති කිහිපයකට පෙර ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව විපක්ෂය ප්‍රකාශ කිරීමෙන් පසු දේශපාලන අවුල් සහගත තත්ත්වයක් මතුව ඇති අතර එය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ජීවිතයේ දුෂ්කර ම අභියෝගය සනිටුහන් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ අතර තවත් සිව් දෙනෙකු ඛාන්ගේ සභාග ආණ්ඩුවෙන් ඉවත්ව වන බවට නිවේදනය කර ඇති බව ය.

පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන 69 හැවිරිදි ඉම්රාන් ඛාන් බලයට පත්වූයේ 2018 වසරේ පැවති මැතිවරණයේදී ය.

ඡන්ද 176ක් හිමි කර ගනිමින් ඔහු බලයට පත්වන අතර එරට බලයේ රැඳී සිටීම සඳහා අවශ්‍ය වන්නේ ඡන්ද 172 කි.

එහෙත් ඛාන්ගේ පාලක පක්ෂයේ 20කට ආසන්න සංඛ්‍යාවක් සහ ඔහුගේ සභාග හවුල්කරුවන්ගේ බෙදීම් හේතුවෙන් පැවති ආසන සංඛ්‍යාව ඔහුට බලයේ රැඳී සිටීමට අවශ්‍ය සරල බහුතරය වන ඡන්ද 172 ට අඩු වී ඇත.

මේ අතර පකිස්ථානය පාලනය කරන්නේ කවුරුන් ද? යන්න තීරණය කරන එරට හමුදාව සමඟ අග්‍රාමාත්‍යවරයා විරසක වී ඇතැයි විපක්ෂය සහ විශ්ලේෂකයින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් එය ඛාන් මෙන් ම හමුදාව ද ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පවසා ඇත්තේ, මෙම විශ්වාසභංගය පරාජයට පත්වන බව ය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, තම රජය පෙරලා දැමීමට උත්සාහ කිරීම සඳහා විදේශ අරමුදල් සහිත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක යැයි ඉම්රාන් ඛාන් දොස් පවරා ඇති බව ය.

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රුසියාවට දැඩි ලෙස තරවටු කිරීම හේතුවෙන් බටහිර රටවල සම්ප්‍රදායික මිත්‍රයෙකු වන පකිස්ථානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති බව ද විදෙස් මාධ්‍ය පවසා ඇත.