ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක්

0
19

ඉංගිරිය – එන්.පී. කහවල

ඉංගිරිය, රයිගම්වත්ත, ශාන්ත පීතර ප්‍රදේශයේ ඉකුත්දා (26දා) රාත්‍රි විදුලිය විසන්ධි කර තිබූ වේලාවේ හදිසි ගිනි ගැනීමක් ඇතිවී තිබේ. ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණි.

ශාන්ත පීතර ප්‍රදේශයේ මානා වගාවක් සහිත හිස් ඉඩමක මෙම ගිනි ගැනීම සිදුවූ අතර, එම ප්‍රදේශය ජනශූන්‍ය වීමත්, ගිනිගැනීම සිදුවූ ස්ථානයට ළඟාවීමට කිසිදු ක්‍රමයක් හෝ මාර්ගයක් නොමැතිවීමත් මෙන්ම ප්‍රදේශය පුරා විදුලිය විසන්ධි කර තිබීමත් ගින්න නිවා ගැනීමට බලවත් ගැටලු වී තිබිණි. 

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.සී. ජනක මහතා ඇතුළු නිලධාරීන්ගේත්, හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේත්, ප්‍රදේශවාසීන්ගේත් දැඩි කැපවීම මත පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ උත්සාහයකින් පසු ගින්න සම්පූර්ණයෙන් නිවා දැමුණු අතර, මෙම ගිනි ගැනීම නිසා අක්කර 03ක පමණ ප්‍රදේශයක් විනාශයට පත්ව තිබිණි.

 ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.