ඇමරිකානු පුරවැසියන්ගෙන් ලංකාවෙ ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා

0
21


වත්මන්  ආණ්ඩුව  ජනතාවගේ රීරි මාංශ උරා බොන  ලේ  මාපිලෙක් ගානට පත්ව ඇති   බවත් ඇමෙරිකානු පුරවැසියෙක් ලංකාවේ ප්‍රශ්න  විසඳන්න කිසි දිනෙක සංවේදී නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හ¾දුන්නෙත්ති පසුගියදා පක්ෂ  මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී  අවධාරණය කළේය.

හඳුන්නෙත්ති මහතා මේ බවද  පැවැසීය. 

“මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහින් රුපියල් බිලියනයක ණය අරන් ආපසු එන අවස්ථාවේ කොන්දේසි කිසිවක් නැති බව කීවා. නමුත් ඒ කියනකොටත් ගිවිසුම් ගණනාවක් අස්සන් කර තිබුණා. බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය සහ මේ ගිවිසුම් අස්සන් කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය මුලින්ම රටට කියන්න ඕනෑ. බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයට පෙරාතුව මෙම ගිවිසුම් අස්සන් කළ යුතු බැවින් කැබිනට් මණ්ඩලයේ ආවරණයට යටත්ව අස්සන් කළ බව සඳහන් වෙනවා. මේ කියන්නේ අස්සන් කරන්න පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අස්සන් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් 5ක් ඇතුළු ගිවිසුම් 7ක් මුදල් ඇමැතිගේ ඉන්දියානු සංචාරය හා සම්බන්ධව අස්සන් කර තිබෙනවා. 

නිව් ෆෝට්‍රස් සමාගම සමඟ ආණ්ඩුව ගිවිසුම් අස්සන් කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව පක්ෂ සහ සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එල්එන්ජී බලාගාර පවත්වාගෙන යෑම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධ ගිවිසුමක් මේ ආණ්ඩුව අස්සන් කර තිබුණා. රටේ ජාතික ආරක්ෂාවට අදාළව ගුවන, මුහුද, ගොඩබිම යන සියල්ලම ඉන්දියාවේ අණසකට යටත් කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අත්හැරීමක්. අපේ රටේ යුද්දේ කාලෙවත් නොතිබුණු නිරීක්ෂණ ඩ්‍රෝන යානා පාවිච්චිය, නාවික තටාකාංගණයේ යාත්‍රා රඳවා තැබීම, හදිසියේම ඩිජිටල් හැ¾දුනුම්පත් ප්‍රශ්නයක් ඇතිවුණේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම අනුව ප්‍රමුඛතා නිසාද? 

මේ ආණ්ඩුව බලයට එන අවස්ථාවේ ජන වරමක් ගන්න ඉදිරිපත් නොකළ බොහෝ දේ හදිසියේම සිදු කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා හතක් (07) එක දිනයකදී අනුමත කර තිබෙනවා.  “ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2022 මාර්තු 15 වැනි දින ඉදිරිපත් කරන ලද ප්‍රධාන ලිපියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් එකී ප්‍රදානය කිරීමේ ලිපියට අස්සන් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට” මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. 

ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ කෙටුම්පතට එදාම කමල් ගුණරත්න මහත්තයා අස්සන් කරනවා. ඊට පස්සේ මාර්තු 18 වැනිදා ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා කැබිනට් සන්දේශය ඉදිරිපත් කරනවා. මේක සාකච්ඡාවට ගන්නේ මාර්තු 21 වැනිදා කැබිනට් මණ්ඩලයේදීයි. නමුත් අනුමැතිය ලබා ගන්න විට ඉන්දියාවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට අත්සන් කරලා ඉවරයි. එහෙම නම් කොන්දේසි නෑ කියලා බැසිල් රාජපක්ෂ කියන්නේ කොහොමද? එයාර්පෝට් එකෙන් එළියට එන්න මේ වගේ ප්‍රකාශ කරලා ලැජ්ජා නැතිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයේ කොන්දේසි ඇතුළත් කරනවා. ආරක්ෂක ගිවිසුම් 05ක් කැබිනට් මණ්ඩලයටත් හොරා මේ අස්සන් කර තිබෙන්නේ මොකටද කියලා ජනතාව අවදියෙන් ඉන්න ඕනෑ. 

ලංකාවට ඉන්ධන සහ විදුලිය සැපයීම පෙන්වා ජාවාරම් දියත් කර තිබෙන්නේ කැබිනට් අනුමැතියට මුවා වෙලා. මීට අත්සන් කර තිබෙන්නේ සමාගම් නියෝජිතයෙක් හැටියට අකුරු තුනේ රාජපක්ෂ කෙනෙක්. විදුලිබල ඇමැති කැබිනට් පත්‍රිකාවට අස්සන් කරනවා විතරයි.  

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද පඩි ගෙවා ගන්නවත් බැරි තත්තවයට පත් කරලා, නායකයන් අර්බුදයේ දියබුං ගහනවා. මේ ගැන සිහි බුද්ධියෙන් ඉන්න කියලා අපි මේ රටේ ජනතාවට කියනවා. මේක කොරෝනා සම්බන්ධ අර්බුදයක් හරි ආර්ථිකයේ අර්බුදයක් හරි නොවෙයි. ඩොලර් අර්බුදය පෙන්වලා අපේ රටේ ජනතාවගේ රීරි මාංශයම උලා කනවා. මේ මාපිලුන්ව පරාජයට පත් කරන්න ඕනෑ.  මේ  ගැන රටත් ජනතාවත් අවදියෙන් සිටින ලෙස අපි ඉල්ලා සිටිනවා. 

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

ප්‍රශ්නය:-  මේ ආකාරයෙන් ණය ගැනීම සුදුසු නැත්නම් ඒ වෙනුවෙන් තිබෙන විකල්ප මොනවාද? 

අර්බුදය හමුවේ ආණ්ඩුවක් කරන්න ඕනෑ රටේ සම්පත් විකුණන එකද? ජනතාව පෝලිම්වල ඉඳිද්දී මොන ඇමැතිවරයාද නිල නිවාසවලින් ඉවත් වෙලා ආදර්ශ දීලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේදී කෑම එකේ වියදම පුංචි වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ ඒක කැප කරලා පෙන්වන්න ඕනෑ. ඇමැති ආරක්ෂකයන් පිරිවරාගෙන යන වාහන පෙළ නවත්වලා පෙන්වන්න ඕනෑ. ඒ වියදම් ඉතිරි වෙනවා. හොරකම් නවත්තලා වියදම් ඉතිරි කරලා පෙන්වන්න ඕනෑ. ඇමැතිකම් දරන පුත්තු රට වටා ගිහිල්ලා ඉන්ධන විනාශ කරන එක නවත්වන්න ඕනෑ. ණය ගෙවීම් කල් දාන්න කියලා මොන ඇමැතිවරයාද විදේශයකට ගිහින් කතා කළේ? කොයි රටට ගිහිල්ලද ණය ගෙවීම පහසු කර ගන්න සාකච්ඡා කළේ? බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා මේ පාවාදීම කරලා එනකොට කවුද මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ? විදේශගත ලාංකිකයන් ලංකාවට ඩොලර් එවන්න තහවුරු කර තිබෙන විශ්වාසය මොකක්ද? අපේ අපනයන ආදායම වැඩිකර ගැනීමට සැලසුම් හදලා තියෙනවාද? රටේ ජනතාවට යෝජනා ගොඩක් තියෙනවා. අපට යෝජනා තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න හැකි වෙන්නේ ජනතාවට වගකියන රටට වගකියන පාලනයකට විතරයි. ඒ හැර මේ අර්බුදයට උත්තර හොයන්න බැහැ.

ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස බලයට පත් වුණොත් රටවල් තුනකින් තෙල් ලැබෙනවා කියලා තියෙනවා. ඒ ගැන මොනවද හිතන්නේ?

නාස්තිය දූෂණය නවත්වා නීතියේ ආධිපත්‍ය තහවුරු නොකර කිසිම දෙයක් කරන්න බැහැ. නාස්තිය දූෂණය නැවැත්වීම ආර්ථිකය හැදීමේ එකම ක්‍රියාමාර්ගය නොවේ. හැබැයි ඒක නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඔය දෙපැත්තෙම ඉන්න කට්ටියට ඔය කියන දේවල් කරන්න බැහැ. මහ බැංකුවේ බැ¾දුම්කර වංචාව කළ පිරිසටත් පරණ හොරු ටික ආරක්ෂා කරන මේ ආණ්ඩුවටත් කිසිම දෙයක් කරන්න බැහැ. රට වෙනස් කරන්න පුළුවන් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැසෙන බව නුගේගොඩදී ජනතාව ඔප්පු කළා. 

අනුරාධා හේරත්