ආරක්ෂක උපදේශක නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

0
62


හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ක්‍රියාකාරීත්වය දැක බලා ගැනීම සඳහා, ආරක්ෂක  උපදේශක නියෝජිතයන් පිරිසක් පසුගියදා වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.  

සංචාරයට සහභාගී වූ ආරක්ෂක උපදේශක නිලධාරීන්, ඇමෙරිකා එක්සත් ජනපදය, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, කෙන්යාව, කොරියානු ජනරජය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල් නියෝජනය කළහ.

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් සර්විසස් සමාගමේ (HIPS) සාමාන්‍යාධිකාරි කපිතාන් මියුරු ගුණසේකර, HIPS ආරක්ෂක විශේෂඥ ඩිලාන් සිල්වා, කාවන්තිස්ස නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි සහ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂක කාර්යාලය (ISPS) හා නාවික අංශ සඳහා පෙනී සිටින නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් නියෝජිත පිරිස පිළිගනු ලැබීය. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සිදුවූ සංචාරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයෝද සහභාගි වූහ.

 “පැමිණි දූත පිරිස, HIP පරිශ්‍රය තුළ සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී, වරායේ ඉතිහාසය, පහසුකම්, ආරක්ෂාව සහ අනාගත වර්ධනය පිළිබඳව සැලකිලිමත් විය. වරාය පහසුකම් පැසසුමට ලක් කළ ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ අප අත්පත් කරගෙන ඇති වාර්තාගත මෙහෙයුම් පිළිබඳවද අදහස් දැක්වූහ.  

 මෑතකදී ඉන්දියානු නාවික යාත්‍රා දෙකක්  සේවා සහ අනෙකුත් පහසුකම් සපයා ගැනීම සඳහා HIP වෙත පැමිණියේය. පසුගිය වසරවලදී ජපානය, ඉන්දුනීසියාව, රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල නාවික යාත්‍රාද හම්බන්තොට වරායට පැමිණ ඇත.