අලුත් අවුරුදු රුක්රෝපණ වැඩසටහනට ජපන් රජයේ සහාය

0
17


පරිසර අමාත්‍යාංශය ශ්‍රී  ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම සඳහා ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩසටහන අතිශයින්ම අගය කරන බව ශ්‍රී   ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki  කීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී  ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki  අතර සාකච්ඡාවක් ඉකුත්දා අමාත්‍යවරයාගේ නිල නිවෙසේදී පැවැත්වුණු අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.  

ශ්‍රී  ලංකාව අන්තර්ජාතික පාරිසරික ප්‍රඥප්තීන් අනුව යමින් පාරිසරික වැඩ කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව පරිසර අමාත්‍යවරයා එහිදී පැහැදිලි කොට ඇත. විශේෂයෙන් 2030 වන විට මෙරට වනගහනය සියයට 30 දක්වා ඉහළ නැංවීම මෙන්ම කාබන්වලින් තොර ශ්‍රී   ලංකාවක් සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්ද අමාත්‍යවරයා විස්තර කරනු ලැබීය.

 හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය නිමිත්තෙන් මෙම වසරේ අප්‍රේල් මස 18 දින පෙරවරු 11.16ට පැළ රෝපණය කිරීම සඳහා ජාතික නැකැතක්ද සකස් කර තිබේ. 

එදින දිවයින පුරා සිටින පවුල් මිලියන 5.2ක් රුක්රෝපණය සඳහා දායක කර ගැනීම තම අරමුණ බවත් නැකැතට පැළයක් යන නමින් එම නැකැත් චාරිත්‍රය ඉටු කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා කීය. පසුගිය වසරේදීද නැකැතට පැළයක් වැඩසටහන යටතේ පැළ මිලියනයක් පමණ මෙරට රෝපණය කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මෙවර ශ්‍රී  ලංකාවේ පිහිටි සෑම තානාපති කාර්යාලයකටම පලතුරු පැළ යැවීමට කටයුතු යොදා තිබේ. එහි පළමු පැළය ජපාන තානාපතිතුමන්ට පිරිනමන බව කී අමාත්‍යවරයා ශ්‍රී  ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතාට නා පැළයක් පිරිනමනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ  තානාපතිවරයා සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ තමන් ශ්‍රී  ලංකාවේ රැඳී සිටින බවත් අප්‍රේල් මස 18 දින නැකැතට පැළයක් වැඩසටහනට තම තානාපති කාර්යාලයේ සියලුදෙනා සහභාගි කර ගන්නා බවත් පැවැසීය.

පරිසරයට ආදරය කරන පිරිසක් ලෙස  ජපාන ජනතාව ලොව පුරා ප්‍රසිද්ධව සිටින බව කී තානාපතිවරයා ගසක් යනු  සජීවී වස්තුවක් බවත් ගසක් රෝපණය කිරීම ශ්‍රී  ලංකාව වැනි බෞද්ධ රටක සෑම කෙනකුගේම වගකීමක් බවද පැවැසීය.

එමෙන්ම ශ්‍රී  ලංකාවේ වනගහනය ඉහළ නැංවීම පිණිස ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු වැඩසටහන සාර්ථක කර ගැනීමට තම රටේ සහයෝගය පවා ලබාදීමට සූදානම් බවද Mizukoshi Hideaki  සඳහන් කළේය.