අනුරාධපුර රෝහලට ලෙඩෙක් ගෙනා ත්‍රිරෝද රථය ගිනි ගනී

0
26

අනුරාධපුර _ අමිල ප්‍රභාත්

අනුරාධපුර ශික්ෂණ රෝහලට 28 දින පැමිණි ත්‍රීවීල් රථයක් ගිනි ගෙන රෝගියකු ඇතුළු තිදෙනකුගේ ජීවිත  බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

වකුගඩු රෝගයෙන් හා අංශභාග රෝගයෙන් පෙළෙන රෝගියෙක් ප්‍රතිකාර ගැනීම සඳහා මෙම ත්‍රීවීල් රථය කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ  රෝහලට පැමිණ ඇත. ත්‍රීවීල් රථය රෝහලේ වකුගඩු ඒකකය අසලට පැමිණෙනවාත් සමඟ ගිනි ගෙන ඇත. එය දුටු රෝහලේ කාර්ය මණ්ඩලය පැමිණ රෝගියා ඇතුළු තිදෙනා ත්‍රීවීල් රථයෙන් එළියට ගෙන තිබේ. අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වන සරත් සෙනෙවිරත්න මහතා තම ජීවිතයද නොතකා ගිනි ගනිමින් තිබූ ත්‍රීවීලරය එම ස්ථානයෙන් ඉවතට තල්ලු කර දැමීම නිසා මහ විනාශයක් වැලකුණු බව රෝහල් සේවකයෝ පවසති. රෝහලේ තිබූ ගිනි නිවන උපකරණ හා රෝහලේ ජලය ඉසිමින් ගින්න මැඬලීමට කටයුතු කරද්දී අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මුළුමනින්ම නිවා දැමීමට කටයුතු කරන ලදී. අනුරාධපුර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ කරති.