අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී කේරළ ගංජා සමඟ සැප වාහන දෙකක් කොටු

0
15

පන්නිපිටිය – හෂාන් පුෂ්පික 

අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි සුඛෝපභෝගී වාහන දෙකක ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා ග්‍රෑම් විසිදෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පැවැසීය. 

අධිවේගී මාර්ග පිවිසුම් අසලදී ඉකුත්දා කළ වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පැමිණි වාහන හදිසි පරීක්ෂාවට ලක් කළ අතර එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් පිළිබඳව කොට්ටාව අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රේමලාල් මහතාට ඇති වූ සැකය මත වාහනය නවතා පරික්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 22ක් පොලිස් භාරයට ගෙන තිබේ. 

මීගොඩ ප්‍රදේශයේ සිට හික්කඩුව ප්‍රදේශයේ පැවැත්වෙන සාදයක් සඳහා යමින් සිටි මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයකු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් විස්සක්ද කොළඹ සිට බටපොළ  දක්වා ගමන් කරමින් තිබූ කැබ් රථයක සිටි පුද්ගලයකු සන්තකයේ තිබී තවත් කේරළ ගංජා ග්‍රෑම් දෙකක්ද මෙසේ භාරයට ගෙන තිබිණි. ඒ අනුව සැකකරුවන් දෙදෙනා ගමන් කරමින් තිබූ කැබ් රථය සහ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ බටපොළ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසියට භාර දීමට නියමිතව තිබිණි. 

සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ගුණරත්න මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරි කපිල අබේනායක මහතාගේ උපදෙස් මත අධිවේගී මාර්ගය සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ගුණරත්න පො.සැ.  අශෝක, (37424) කුමාර, (81714), ප්‍රියලාල් (31600), ලොකු විතාන (31571), ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති.