IOC සමාගමට ත්‍රිරෝද රථ සංගමයෙන් විරෝධයක්

0
42


මහනුවර – කේ.එල්. සුරවීර

ඉන්දියානු ඔයිල් සමාගම ඉතාමත්ම  අත්තනෝමතික ආකාරයෙන් හිතූ හිතූ ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සහ රියැදුරන්ගේ සංගමය අවධාරණය කරයි.                                                        

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එම සංගමයේ මාධ්‍ය හා ප්‍රචාරක ලේකම් කපිල ගලපිටගේ මහතා පැවැසුවේ, ඉන්දීය ඔයිල් සමාගම මෙරට රජය හෝ අදාළ වගකිව යුතු අංශ කිසිවක් හෝ දැනුවත් නොකොට හිතුවක්කාරී ලෙස මේ කරනා කටයුතුවලින් හැඟී යන ආකාරයට ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය වශයෙන් නම් කළද විමතියට පත් වීමට කරුණක් නොමැති බවය.                                                                                                                      

එහිදී තවදුරටත් අදහස් පළ කළ කපිල ගලපිටගේ මෙසේද කීය. 

අපේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගිහින් ලංකාවේ ජනතාවට සහන දෙන්න කීවා. විශේෂයෙන් ඉන්ධන ගැටලුවට සහන දෙන්න කියලා ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගත්තා. සතියක් යන්නත් කලින් ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල රුපියල් 303 දක්වා ඉහළ නැංවූවා. 

ජනතාවට දුන්න පළමු සහනය තමයි හිතා ගන්නවත් බැරි විධියට ඉන්ධන මිල ඉහළ දමපු එක. සතියක් යන්න කලින් මේ විධියට කළා නම් ඉතා කෙටි කාලයක් තුළ පෙට්රල් ලීටරය රුපියල් දාහයි කීවත් ඔක්කොටම උඩ බලාගෙන ඉන්නවා මිස වෙන කරන්න දෙයක් නෑ. මේ අසාධාරණය සම්බන්ධයෙන් මේ රටේ රජයේ බලධාරීන්ට කතා කරන්න බැරිද? මහජන උපයෝගිතා කොමිසමට කතා කරන්න බැරිද? මහජන උපයෝගිතා කොමිසම දැන් කරන්නේ විදුලිය විසන්ධි කරන්න වෙලාවල් නියම කරන එක විතරද? ඕක කරන්න කොමිසමක් අවශ්‍යද?  සභාපති රජයේ පඩි, දීමනා ලබමින් ගිරවා වගේ විදුලි විසන්ධිය ගැන කියනවා.                    

අද වන විට සිපෙට්කෝ සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අවශ්‍ය ප්‍රමාණයට පෙට්රල් නෑ. ඉතින් මේ රටේ ජනතාවට ඉන්දීය ඔයිල් සමාගමේ පිරවුම්හල් වෙත ගිහිල්ලා වැඩි මුදලක් දීලා පෙට්රල් ගන්න වෙලා තිබෙනවා. වැඩිපුරම ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. අපි වගේ ස්වයං රැකියාවක් කරන ජනතාවට. මේ රටේ ත්‍රිරෝද රැකියාවේ නිරත වන පුද්ගලයන් ලක්ෂ 09ක් පමණ ඉන්නවා. 

අපි කොහොමද මීට පස්සේ මේ රැකියාව කරන්නේ. අපි අපෙන් සේවාව ලබාගන්නා ජනතාවට ඒ සඳහා ගාස්තුව කියනකොට ඒ මිනිස්සු අපි එක්ක ගහගන්න එනවා. දැන් අපිටත් වෙන්නේ මේ රස්සාව නවත්වලා පාරට බහින්නයි. මේ රජය ඒ තත්ත්වයට අපි පත් කරලා ඉවරයි. අපි කිසිම රජයට බරක් නොවී ස්වයං රැකියාවක් කරලා අපේ දරු පවුල් නඩත්තු කළා. දැන් ඒවා ඔක්කොම ඉවරයි. අපිටත් අපේ දරු පවුල්වල අයටත් අවුරුදු නෙවෙයි පස් කන්න තමයි වෙන්නෙ.                     

ඉන්දීය ඔයිල් සමාගම ඉතාමත් හිතුවක්කාරී ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ දමන කොට අපේ රජයේ බලධාරීන් හිස පාත් කරගෙන බලාගෙන ඉන්නවා. ඉන්දියාවෙන් ණය අරගෙන ලංකාවේ ජනතාවට අවුරුද්දට කලින් සහන දෙනවා කියලා මුදල් ඇමැති කිව්වා. ඒ ලබා දෙනවා කියපු සහනද මේ දෙන්නෙ කියලා අපි අහනවා.                   

මේ ණය අරගෙන අපේ රට ඉන්දියාවට යටත් ප්‍රාන්තයක් කරලා ඉවරයි වගේ. ඉන්දියාවට අවශ්‍ය විධියට තමයි ඔක්කොම වෙන්නේ. මේකද මේ රටේ 69 ලක්ෂයක් බලාපොරොත්තු වූ වෙනස. පැවැති යහපාලන ආණ්ඩුව මීට වඩා දහස් වාරයකින් හොඳයි. ඒ මිනිස්සු රටේ ජනතාව ගැන බැලුවා. ඒ රජය පන්නපු එකේ පල විපාක අද මේ රටේ මිනිස්සුන්ට ඇස්පනාපිට පල දෙනවා. අපිත් ඒ පාප කර්මයේ හවුල්කාරයෝ තමයි. අපි අවසන් වශයෙන් රජයට කියන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල මීට වඩා වැඩි කරන්න එපා. අපට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නිකුත් කරන්න. එසේ නැත්නම් ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට ඉන්ධන සහනාධාර දෙන්න.

 එහෙම නැත්නම් අපිටත් වෙන්නේ පාරට බැහැලා රජයට විරුද්ධව පෙළපාළි, උද්ඝෝෂණ කරන්නයි. ඒ තත්ත්වයට අපි පත් කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ කන්න-ජීවත් වෙන්න බැරි මිනිස්සු දැන් ඩිංගි බෝට්ටුවල නැඟලා ඉන්දියාවට යනවා. හැම ප්‍රශ්නයකටම කොරෝනා, කොරෝනා කිය කියා ගැලවෙන්න මේ ආණ්ඩුවට දැන් බෑ.  ආර්ථික ගැටලුවට පිළිතුර වශයෙන් රජය කරන්නේ මුදල් අච්චු ගහන එක විතරයි. මුදල් අච්චු ගහන්න අච්චු ගහන්න මේ රටේ ආර්ථිකය තව තවත් කඩා වැටෙනවා කියන එක පොඩි දරුවකුට වුණත් තේරෙනවා.     

මාධ්‍ය හමුවට සංගමයේ විධායක කමිටු සාමාජිකයෝද එක්ව සිටියහ.