IMF වාර්තාවෙන් රටේ ආර්ථික ස්ථාවරත්වය සහතික කරන නිර්දේශ 5ක්

0
29


බිඟුන් මේනක ගමගේ

විශ්වසනීය සහ අඛණ්ඩ උපාය මාර්ගයක් මඟින් සර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය සඳහා වහාම පියවර ගැනීම ඇතුළුව ප්‍රධාන නිර්දේශ පහක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 

ශ්‍රී  ලංකා රජයට නිකුත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිර්දේශ සඳහන් වන්නේ, එම අරමුදලේ එකඟතා පනතේ හතර වැනි වගන්තිය පිළිබඳව ශ්‍රී  ලංකා රජය සමඟ කළ සමාලෝචනවලට අදාළව ප්‍රසිද්ධ කර ඇති සම්පූර්ණ වාර්තාවේය.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම වාර්තාව ලබාගැනීම සඳහා විපක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම අවස්ථා ගණනාවකදීම මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළ නමුත් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබිණි.

අවසානයේදී මීඩියා එල්.කේ. වෙබ් අඩවියේ කර්තෘ තරිඳු ජයවර්ධන ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලෙන් ලිඛිතව විමසීමක් කර තිබූ අතර පසුව එම සංවිධානය පිටු 95කින් සමන්විත අදාළ වාර්තාව සිය නිල වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධියට පත් කළේය.

රටක් හැටියට ශ්‍රී  ලංකාව මේ වන විට ගෙවුම් ශේෂයකට හා ණය අර්බුදයකට එකවර මුහුණදී ඇතැයිද ඒ නිසාම ලංකාවේ රාජ්‍ය ණය තිරසර නොවන තත්ත්වයට ළඟා වී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම අවදානම් සහගත පිරිස්වල සුරක්‍ෂිතතාව තහවුරු කර දුප්පත්කම මැඬලීමටද ක්‍රියාමාර්ග ගත යුතු යැයි එම අරමුදල අවධාරණය කරයි.

ආදායම් බදු ශක්තිමත් කරමින් බදු දැල නිසියාකාරව ක්‍රියාත්මක කරමින් පාඩු ලබන රාජ්‍ය, ව්‍යවසාය සම්බන්ධයෙන් නිසි තීන්දු ගැනීම අවශ්‍ය බවද එහි දැක්වේ.

විදෙස් විනිමය සම්බන්ධයෙන් රජය අනුගමනය කළ පියවර කෙටි කාලීනව යම් සහනයක් ලබා දුන්නත් මෙම වසරෙන් පසුව විදේශ විනිමය හා ණය සම්බන්ධයෙන් වූ තත්ත්ව සඳහා කෙසේ විසඳෙනු ඇතිදැයි නිශ්චිත නැතැයිද එම වාර්තාවේ සඳහන් වේ.