2015 මහින්දගේ ආණ්ඩුව වට්ටපු බැසිල් ගෝඨාභයගේ ආණ්ඩුවත් වට්ටන්න හදනවා

0
39


තරිඳු නානායක්කාර

2015 මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව වැටුණේ බැසිල් රාජපක්‍ෂ නිසා බවත් ඔහු අද හැටනව ලක්‍ෂයේ ජනතා බලාපොරොත්තුව විනාශ කරන බලවේගය බවට පත්වී ඇති බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ඇමැතිවරු ධුරයෙන් ඉවත් කිරීමට හැකි වුවද හාමුදුරුවන්ව එසේ අයින් කළ නොහැකි බවත් අයින් කළ හැකි එකම විධියට වුවද අපි ලෑස්ති බවත් උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

මැදගොඩ අභයතිස්ස හිමි මේ අදහස් පළකළේ පක්‍ෂ 11ක නියෝජිතයන් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීය.

මේ වනවිට මේ රට පැත්තකින් දරුණු ආර්ථික අර්බුදයකට ලක්වෙලා. ආර්ථිකයේ වෙන්න තියෙන සියලු නස්පැත්තීන් සිද්ධවෙලා. අනෙක් පැත්තෙන් දේශපාලනය අර්බුදයකට ලක්වෙලා. ඒක හිතාගන්න බැරි විදිහේ අමුතු තාලේ අර්බුදයක ස්වරූපයක් අරගෙන තිබෙනවා. මොකද හේතුව ආණ්ඩුව ඇතුළේම විපක්ෂයක් ගොඩනැඟිලා තිබෙනවා. 

ඒත් එක්කම විපක්ෂ හැටියට ගත්තම එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ආදී වශයෙන් ඒ අය සියලුම දෙනා මේ වනවිට මේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය සහ රටේ පවතින ආර්ථික අර්බුදය පෙන්වලා අපිට බලය දුන්නොත් ඉවරයි කියන තැනට ඇවිල්ලා.

මට තිබෙන ප්‍රශ්න තමයි දැන් මෙතැන විද්වතුන් ඉන්නවා. ඇත්තටම මේක පුද්ගලයන්ගේ අතින් අතට බලය මාරු කිරීම හරහා මේ රටේ තිබෙන සැබෑ ජාතික ප්‍රශ්නයට උත්තරයක් ලැබෙනවද කියන එක. සැබැවින්ම මේ රටේ තිබෙන ජාතික ගැටලුවට, අපි මුහුණ දෙන සැබෑ ගැටලුවට ඔබ සියලු දෙනා විශ්වාස කරනවා ඇති යන්තම් සාමාන්‍ය අවබෝධයක් තිබෙනව නම්. මොකද විටින් විට බලය මාරු කරපු කණ්ඩායම් තමයි නැවැත ප්‍රකාශ කරන්නේ අපිට දුන්නොත් වැඩේ හරි කියලා.

එතැනදී මේ කවුරුත් පාරිශුද්ධයි කියන්න පුළුවන් අය ඔය බලය ඉල්ලන කණ්ඩායම් ඇතුළෙ නෑ. මේක හරි ලේසියි. අපිටත් එකඟවෙලා උනුත් එකයි මුනුත් එකයි. ඊළඟට මෙහෙමයි කියලා ඉන්න පුළුවන්. හැබැයි ඒක කොතරම් බුද්ධි ගෝචරද කියන ප්‍රශ්නය දැන් අහන්න වෙලා තිබෙනවා.

මෙතැනදී එක සතුටක් තිබෙනවා. ඔබතුමාලගේ මේ පක්ෂ 11 පිරිස කිසියම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙළ පිළිගන්නවද? නැද්ද? කියලා තර්කානුකූලව න්‍යායාත්මකද කියන එක සංවාද කරන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා කිසියම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා.

ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිය යුතුයි ජාතික සංවිධාන හැටියට, ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ සංවාදයට බඳුන් කරන්න කියලා. ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළට විරුද්ධතා තිබෙනවා නම්, නොහැකියා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒකෙදි විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය විරෝධතා දැක්වීමෙන් පමණක් මේක මේ රටේ ගම්වල මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්න තිබෙනවා.

නගරේ මිනිස්සුන්ට ගෑස් නැතිව, ලයිට් නැතිව ඇතිවෙලා තිබෙන ප්‍රශ්න. ඊළඟට උද්ධමනය ඉතා ඉහළ ගිහිල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිවෙලා තිබෙනකොට ඔවුනොවුන් අතර කාකොටා ගැනීම් ප්‍රමාණවත් වෙන්නේ නෑ.

ඒ ජනතාව එල්ලෙන්න වැල් නැති නිසා කරගන්න දෙයක් නැති නිසා කවුරුන් හෝ පස්සේ යයි. හැබැයි ඒක ජනතාවට උත්තරයක් වෙන්නෙ නෑ. ඒ නිසා මේකෙදි අපි විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකට ආවේ නැත්නම් රටේ ඉරණම වෙනස් කරන්න බෑ කියන එකයි අපි දකින්නේ.

ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකට ආවේ නැතිනම් රටේ ඉරණම වෙනස් කරන්න බෑ. ඒකෙදී ජාතික සංවිධානත් සම්බන්ධ වෙලා ඒ වගේම පක්ෂත් එකතුවෙලා මුළු රටම හරි මඟට කියලා වැඩසටහනක් ඉදිරිපත් කළානේ. මම හිතන්නේ ඒක තමයි ආණ්ඩුවට හිතේ පැවැතුණු මහ වේදනාව. මෙතෙක් පැවතුණු විරෝධතාව කිසියම් අයුරකින් ප්‍රකාශනාත්මකව එළියට ආපු අවස්ථාවක් ඒක.

ඒක ඔබතුමන්ලා විටින් විට ඉදිරිපත් කරන්න ඇති. මේ ඉතිහාසය ඇතුළේ අපිත් නිකම් හිටියා නෙවෙයි. ඔබට මතක ඇති නැඟෙනහිර ජැටිය දෙන්න හදන වෙලාවේ ජාතික සංවිධාන මොනතරම් විරෝධතාවක් ඇති කළාද? අවසානෙදී ඒ සම්බන්ධයෙන් ඉන්දියාවත් එක්ක කරන ගනුදෙනුවක් කියන මට්ටමට ජනාධිපතිතුමා පෙනී සිටියා.

අවසානෙදි ඉන්දියානු තානාපති කාර්යාලය කියනවා අදානි සමාගම අපේ එකක් නෙවෙයි කියලා. ඒක ඉන්දියාවේ තිබෙන තවත් කම්පැනි එකක් විතරයි. අපේ කවුරුහරි මිලදී ගන්න ගියොත් ආයතනයක් ඉන්දියාවෙන්. ඒකයි ආණ්ඩුවයි යනවා කියන්නේ දෙකක්නේ. ඒවා ඉතින් සිහින තමයි.

ඒ වගේ සමහර වෙලාවට අපි මෙහෙ සමාගම් ආයතනවලට, පෞද්ගලික ආයතනවලට කොමිස් මුදලට යම් යම් අය යටත් කරගෙන ඒ වගේ තත්ත්වයන්ට පත්වෙන අවස්ථාවන් තිබුණෙ අපි ඒවට දැඩිව පෙනී සිටියා.

කොටින්ම මම කිව්වා අයියා බේරගත්තු රට මල්ලි, රාවණාව පාවා දීලා විභීෂණට එදා ඉන්දියාවත් එක්ක සටනක් තිබුණා. ඒකෙදි අයියා ආරක්ෂා කරපු, බේරගත්තු රට විභීෂණට පාවා දුන්නා වගේ වැඩක් වෙන්නෙ මේ ජැටිය දුන්නොත්. ඒක නිසා ඒක කරන්න එපා කියලා කිව්වා.

අවසාන වශයෙන් ඒ ජාතික මතවාදේ ඉහළම තැනට ආවා. ඒක කරගන්න බැරිවුණා. ඒ වගේම තමයි ඔය තෙල් ප්‍රශ්නෙ. සීනි ප්‍රශ්නෙ. ඔය බදු කතන්දරවලදී හැමෝම ඉල්ලුවේ මේවා එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගෙ බදු සහන සලසන්න ගිහිල්ලා මේ රටට ජාතික සම්පත් අහිමි කරන්නෙපා කියලා.

හැබැයි ඒ වුණාට ඒ දේවල් සම්බන්ධයෙන් සාධාරණීයකරණය කළා මිසක් ඒ දේවල් පිළිබඳව නිසි අවධානයක් යොමු කළේ නෑ. ජනතාවගේ ආදරය දවසින් දවස රජයෙන් ගිලිහී යන්න පටන් ගත්තා.

මේකේ බරපතළම තැන තමයි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේ සංශෝධනය වන විට පැහැදිලි ලෙසම අපි කියපු ප්‍රධානම කරුණක් තමයි ද්විත්ව පුරවැසිභාවය. ඒ වෙලාවේදී අපි හමුවට ඇවිල්ලා නීතිඥයෝ කතා කළා මේ ද්විත්ව පුරවැසිභාවය තියාගන්න කියන ඕන අය. ජනාධිපතිතුමත් එක්ක මම දවස් දෙකක් පැයකට වඩා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

ඒ වෙලාවේදී එතුමට අපි කිව්වා මේක ආණ්ඩුවට විශාල පහරක් බවට පත්වෙනවා, ආණ්ඩුවට විශාල හානියක් බවට පත්වෙනවා කියලා. මේ ද්විත්ව පුරවැසිභාවය හරහා ඇතිවෙන තත්ත්වය. ඒ වෙලාවේදී අපි කවුරුත් සහෝදරත්වයෙන් සලකලා යම් යම් දේවල් කියන්නැති වුණාට පෞද්ගලිකව නම් භාවිත කරලා මොකද අපි දැක්කා 2015දී ආණ්ඩුව වැටුණෙත් නිශ්චිත පුද්ගලයෙක් නිසා. බැසිල් රාජපක්ෂ මහත්තයා නිසා.

හැබැයි ඒ නිශ්චිත පුද්ගලයාම මේ මහ ජනතා බලාපොරොත්තුව විනාශ කරන බලවේගය බවට පත්වෙයි කියන එක අපේ හිතේ තිබුණා. ඒ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපිට සඳහන් කළා හාමුදුරුවනේ මාව විශ්වාස කරන්න. ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒ අලුත් ව්‍යවස්ථාවේදී ඔය ද්විත්ව පුරවැසිභාවය කියන මේ ප්‍රතිපාදනය ඉතුරු කරන්නෙ නෑ ඒ ව්‍යවස්ථාවේදී කියලා කිව්වා.

ඒ වෙලාවේදී මම කිව්වා බලන්න චන්ද්‍රිකාට බැරිවුණා ව්‍යවස්ථාව හදාගන්න. ඊළඟට රනිල්ට බැරි වුණා, මෛත්‍රිපාල මහත්තයටත් බැරිවුණා ව්‍යවස්ථාව හදාගන්න. එහෙමනම් ඔබතුමා හිතනවද මේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඔබතුමාට පුළුවන් වෙයි කියලා මම ඇහුවා.

ඔබ වහන්සේ හිතන්නෙත් මමත් ඒ වගේ කෙනෙක්ද කියලත් එතුමා මගෙන් ඇහුවා. ඒ නිසා කොච්චර බලය තිබුණත් මේ රටේ දේශපාලකයාව, දේශපාලනය හසුරුවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ හදගැස්මට අනුව නෙවෙයි. ඒක හසුරුවන්නෙ යම් යම් කණ්ඩායම්. ඒක නිසා අද අපි මං එතැනදී ඔබතුමන්ලාට මතක ඇති 20 වැනි සංශෝධනයට කලින් දවස්වල අපි හැමදාම මාධ්‍යයට ඇවිල්ලා කතා කළා. පැය ගණන් රාත්‍රිවල සාකච්ඡා පැවැත්වුවා. එතැනදී අපි කියලු දේ තමයි බැරිවෙලාවත් 20 ඉතුරුවෙලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියන එක.

දැන් ඒකේ අනිටු විපාක දැන් භුක්ති විඳිමින් පවතිනවා. හැබැයි අදටත් මේ රටේ ආර්ථික ප්‍රශ්නය අපිට ඉතා ඉක්මනින් විස¼දාගන්න පුළුවන්. මේක කුඩා රටක්, මේක සම්පත් ගහන රටක්. ඒ නිසා මේ රට දියුණු කරන්න බෑ කියන පදනමේ කිසියම් කෙනෙක් ඉන්නවනම් ඒ අයම තමයි අර ජාත්‍යන්තර සංවිධානවලට, බහුජාතික සමාගම්වලට අපේ ඉඩම් ටික දෙන්න, අපේ සම්පත් ටික දෙන්න ලෑස්ති අය.

මම දැක්කා පසුගිය දවසක එක විද්වතකුත් මේ ගැන සාකච්ඡාවක් කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අර සංවිධානයක් හැදුවනේ සර්ව පාක්ෂික සමුළුව. එතැනදී මේ ණය ගන්න හැටි කියලා දෙනවා. මේ රට තව තවත් ණය උගුල්වලට අහු කරලා ණය හිරවෙන එක නෙවෙයිනේ කරන්න ඕන. ඒක නිකම් හරියට අලුත් හිඟන්නකුට පරණ හිඟන්නා මෙහෙමයි හිඟාකන්නේ කියලා කියලා දෙනවා වගේ වැඩක්. ඒ නිසා ඒ තත්ත්වය යටතේ, මේ සමස්ත බංග්ලාදේශය අපි ආදර්ශයට ගත්තොත් ඩොලර් මිලියන 45,000ක සංචිත තිබෙනවා බංග්ලාදේශය සතුව. කොතැනද හිටියෙ බංග්ලාදේශය. ඒ මිනිස්සු දැක්මක් ඇතිව මේ ගමන ආවා. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ ඒක කවුද කරන්නේ කියන එක නෙවෙයි. ඒකට ඉන්නේ මේ පක්ෂ එකොළහේ අයද, එහෙමත් නැතිනම් වෙනත් ඔය කියන නම් කියපු නොකියපු අයද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. හැබැයි ප්‍රතිපත්ති ඉස්සරහින් තියාගමු.

ඉස්සර මිනිස්සු ගැල් යනකොට මාලිමාවක්වත් නැතිව තරු දිහා බලාගෙන යනවා. හැබැයි ඒ තරුව පේන්න ඕන. ඒ තරුව දිහා බලාගෙන තමයි දිවා රාත්‍රි ඒ දිශාවට ගමන් කරන්නේ. හැබැයි අද දවසේ, රාත්‍රියටනේ ගොඩක් ගැල්කරුවෝ ගමන් කරන්නේ. අද දවසේ අපිට මොකද වෙලා තිබෙන්නේ. මේ ආණ්ඩුව එහෙමවත් තරුවක් පෙන්නලා එහෙමවත් සංඥාවක් පෙන්නලා නෑ මෙන්න මේ පැත්තට ගිහිල්ලයි අපි මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ කියලා.

ඒ නිසා මේක ආරම්භ කරන්න ඕන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකින්. මේ මාතෘ භූමිය කෙලසන්න, මාතෘ භූමිය තවදුරටත් පාවා දෙන්න, ඒ හරහා ර්ඛ්ඛ් වලට යන්න, ඒ හරහා 13 ක්‍රියාත්මක කරන්න, දැන් අද මම ප්‍රවෘත්ති අහගෙන ඉන්න කොට දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරම් මහත්තයා වගේ මතක තිබුණේ, ඔහු සඳහන් කරනවා 13 ගැන අහද්දි ඊට එහා ගිය විසඳුමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ කියලා.

දැන් මේ බොරදියේ මාළු බාන වැඩකට තමයි දේශපාලනඥයෝ පටන් අරගෙන තිබෙන්නේ. ඊළඟට මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමැතිවරු කල්පනා කරනවා මේ රට අන්ත දුගී අසරණ තත්ත්වයට පත්වුණාට පස්සේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා කියාවි මේ ඉඩම් ටික දෙන එක, අහවල් අහවල් දේවල්වලට යටත් වෙන එක කමක් නෑ කියලා. ඒ කියන්නේ ඔවුන් සේවය කරන, ඔවුන් බැලමෙහෙවරකම් කරන, ඒජන්තවරුන් හැටියට කටයුතු කරන රටවල අභිප්‍රායන් ඉටු කරගන්නයි. 

හෙට ඉඳලා මම හිතන්නේ පැය 11ක් ලයිට් කපන තැනට එනවා. ගෑස් ටික නැති වෙනවා. වතුර ටික නැති වෙනවා. මේ සියලු තත්ත්වයන් ඉස්සරහ අර්බුදයට පත්වෙන මිනිස්සු පාරට බහින්නේ මොනව කරලා හරි කමක් නෑ අපිට වතුර ටිකයි, කන්න ටිකයි, ලයිට් ටිකයි දීපල්ලා කියලයි.

මොකද ඒ ගැඹුරු සංවාදයේ හැමෝම නැහැ. ගැඹුරු සංවාදයේ හිටියත් මිනිස්සුන්ට මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙන්න ඕන. එතකොට එහෙම නම් අපි කොහොමද මේක ගොඩනඟාගෙන යන්නෙ ඉස්සරහට කියන එක පිළිබඳ හරි විධියේ මතවාදයක් හදමු. ඒක ගොඩනඟන්න පුළුවන්කමක් නෑ. ‘දැන් සැපද’ කියලා ඇහුවට. ඒක ගොඩනඟන්න පුළුවන්කමක් නෑ ඔවුන්නොවුන්ට එරෙහිව වාද විවාද කරගත්තට වැඩක් නෑ.

ජනාධිපතිට, පොහොට්ටුවට ඡන්දය දුන්න 

69 ලක්ෂයට තිබුණේ පූජනීය අරමුණක්. ඒ 69 ලක්ෂයට තිබුණේ මේ නිදහස ලබා ගත්ත දවසේ ඉඳලා මේ දේශපාලනඥයෝ විනාශ කරපු රට හරි විධියේ නායකත්වයකට, විනයවත් නායකත්වයකට, දේශීයත්වය පිළිබඳ කල්පනා කරන නායකත්වයකට ඇතුළු කරලා ඒ හරහා මේ රට හරි තැනකට දියුණු කරන මහා සුන්දර අපේක්ෂාවක්. ඒ අපේක්ෂාව ඇතුළේ තමයි ජාතික සංවිධාන හිටියේ. ගොටු අල්ලන එහෙමත් නැතිනම් කාගේවත් වරදානවලට වැඩ කරන කිසිවෙක් එතැන හිටියේ නෑ.

ඇතැම් කණ්ඩායම් තනතුරු අරගෙන ඉන්නවා. පුද්ගලයන් තනතුරු අරගෙන ඉන්නවා. ඒගොල්ලන්ට තිබුණේ ප්‍රශ්නෙ ඒකයි. හැබැයි ඒ වුණාට මේ උදවිය තනතුරු ගන්නවත්, බලලෝභීත්වයෙන්වත් ලාභ ලබාගන්න නෙවෙයි එදා හිටපු මතවාදයේමයි අද ඉන්නේ. මම අහන ප්‍රශ්නය තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කරලා මාස තුනක් යනකම් ඔබට මතක ඇති අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න කලින් හැමෝම කිව්වා අපේ ඡන්දයට වටිනාකමක් ලැබුණා කියලා. කිව්වේ නැද්ද හැමෝම කිව්වා එහෙම.

හැබැයි අලුත් ආණ්ඩුව බිහි කරපු දවසේ ඉඳලා එතැනින් පස්සේ එතැනදී කරගත්තු වැරදි ටිකක් තිබුණා. මම ප්‍රසිද්ධියේ වුණත් කියන්න ලෑස්තියි. සමහර ඇමැතිකම් පත් කරද්දී ජනතාව කල්පනා කළේ නෑ, මේ අයට මේ මේ අවස්ථාවන් සලසන්න ඕනේ කියලා. මොකද ජනතා හදගැස්ම තේරුම් ගන්නැතුව සමහර අයව පත් කළේ.

ඒ වගේම තමයි එතැනින් පස්සේ මේ ජාතික සංවිධාන, ජාතික මතවාද දරන මිනිසුන්ගේ හැඟීම් දිහා සංවේදී විදිහට බැලුවේ නෑ. ඒ මිනිස්සු කිව්වේ මොනවද කියලා ඇහුවේ නෑ. ඒ මිනිස්සුන්ට තිබුණා පරිසරය පිළිබඳ ගැටලු. එයාලට තිබුණා පුරාවිද්‍යාත්මක ගැටලු. නීතිය පිළිබඳ ගැටලු වගේම ජනගහනය වගේ ගැටලු. සිංහල බෞද්ධයන්ට ඇතිවෙලා තිබෙන ගැටලු වගේ විවිධ ප්‍රශ්න තිබුණා.

ඒ හැමදෙයක්ම දවසින් දවස කල් දමමින් කල්ගත වුණා. කොරෝනා ප්‍රශ්නය ඇත්ත. හැබැයි කොරෝනා කියන්නෙ සියල්ලම නෙවෙයි. කොරෝනා ඇතුළෙ කොරෝනා බලපාපු හැම රටකම මේ විදිහෙ දේශපාලන අර්බුද හැදුණේ නැහැනේ. මොකද කොරෝනා ඉන්දියාවටත් බලපෑවා. ඒ නිසා කොරෝනාවලින් මේ අර්බුදය වහන්න බෑනේ. මේ අර්බුදයේ සැබෑ යථාර්ථය තමයි බලයට එනතුරු හිටිය මිනිස්සු නෙවෙයි බලයට ආවට පස්සේ ලොකු වුණේ.

ඒනිසා අවසානෙදී මොකද වුණේ. ඔවුන් අසරණ කරලා මේ ජනනායකයන් නිසා මේ වැරැදි පාරවල්වල ඒ වැරැදිපාරවල්වල යෑමේ අද අවාසනාවන්ත තත්ත්වය කියන්නෙ වැරදිලා තිබෙන්නේ ඔවුන්ට නෙවෙයි. වැරැදිලා තිබෙන්නේ රටටයි.

ඒ නිසා කරුණාකරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ආදරයෙන් ඉල්ලන්නේ මේ 69 ලක්ෂයේ ජනමතය තුළ තිබෙන පාරිශුද්ධ බව දෙයියනේ තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තනම් මේ ප්‍රශ්නය ඉවරයි. ඒ පාරිශුද්ධත්වයේ තිබෙන අදහස තේරුම් ගන්න බැරිනම් ඒ නායකයාගෙන් ඇති වැඩේ මොකක්ද?

අපි අහන්නේ අපි හරි ආදරයෙන් මේ කතාව කිව්වේ. ඔබතුමාලට මතකද දන්නෑ. අපේ ජනාධිපතිතුමා අලුතින් පත්වුණු දවසේ පැපිලියානට ආවා. පත්වෙලා ආපු වෙලාවේ මං එතුමට කිව්වා ජනාධිපතිතුමනි අපේ රටේ එක රජ කෙනෙක් හිටියා තමන්ගේ දුව මුහුදට දැම්මා. මං එතන ඉන්න අයගෙන් ඇහුවා කොයි තාත්තටද පුළුවන් තමන්ගේ දුව මුහුදට දාන්න. හැබැයි ඒ තාත්තා දුව මුහුදට දැම්මේ මවුබිම බේරාගැනීම වෙනුවෙන්. මං කිව්වා ඔය ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරලා තියලා මේ ගමන යන්න කියලා. අපි ඒවා සන්නිවේදනය කළේ ජනාධිපතිවෙලා ආපු දවසෙමයි.

අදටත් ඔබතුමාට අවස්ථාව තිබෙනවා. ඒ නිසා කරුණාකරලා මේ සමහර සාධක තිබෙනවා. දැන් බැසිල් රාජපක්ෂ කියන්නේ සහෝදරකමට වැලඳගන්න හොඳ චරිතයක් වෙන්න ඇති  ඔබතුමාලට. හැබැයි මේ රටේ ජනතාව ඒ චරිතය වැලඳගන්න කැමැති නෑ. ඒ වගේම ඔහුගේ ක්‍රියාවලියට කැමැති නෑ.

ඒ නිසා 69 ලක්ෂයක විතරක් නෙවෙයි. ඡන්දෙ දුන්න නොදුන්න ඉපදිච්ච ඉපදෙන්න ඉන්න ඉතිහාසයේ මේ රට රැකගන්න ජීවිතේ දුන්න හැමදෙනාම අරමුණු කළේ මේ මවුබිම. ඒ නිසා මවුබිමේ අනාගතය එක්තරා පුද්ගලයෙක් නිසා විනාශ කරන්නෙපා කියන ආදරණීය ඉල්ලීම කරනවා.

ඔබතුමාලට අවශ්‍ය නම් ආණ්ඩුවේ අයගේ ඇමැතිකම් අයින් කරන්න පුළුවන්. නමුත් හාමුදුරුවරුන්ගේ අයින් කරන්න දෙයක් නෑනේ. අපි ලෑස්තියි. අපි මේ පණ ණයට අරගෙන ආපු මිනිස්සු නෙවෙයි. කොහොමත් ගෝඨාභය මහත්තයා අපිට එහෙම කරන්නෑ කියලත් අපි දන්නවා. මොකද එතුමට එහෙම හෘදසාක්‍ෂියක් නෑ. ඒ තරම් දෙයකට අපි සම්බන්ධයක්. හැබැයි මම මේ කියන දේ සැර වැඩි ඇති. හැබැයි ඔබතුමාලා අවංකව කියන්න ඒක කෙරුවේ නැත්නම් මේ රටට මොකක්ද වෙන්නේ.

මම මේ කියන කාරණාව නොකළොත් මේ රටට මොකද වෙන්නේ ඉස්සරහට. දර්ශනයක් නැතිව, පදනමක් නැතිව මේ මිනිසුන්ගේ වැරැදි තීන්දු තීරණ රටක අනාගතය තීරණය කරන මේ පක්‍ෂය පෙරළලා, ආණ්ඩුව පෙරළලා එහාට මෙහාට පැනලා කවුරු හරි බලයට ගේනවා කියන එකද මේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතාව. ඒකෙන් මේ රට දියුණු වෙයිද? ඒකෙන් මේ රටේ මිනිසුන්ගේ දුක්ගිනි නිවෙයිද?

සමහර අයට එක එක සිහින තිබෙනවා. ඒ සිහින බැසිල්ගෙන් ඉවර වෙන්නෙත් නෑ. පෝලිමට තිබෙන සිහින. පුද්ගලයකුගෙන් ඉවර වෙන්නෙ නෑ. ඒ නිසා පුද්ගලයොත් එක්ක අපේ අමනාපයක් නෑ. හැබැයි අපිට එකත් මවුබිම, දෙකත් මවුබිම, තුනත් මවුබිම. තව ගත්තත් මවුබිම.

ඒ නිසා මවුබිම වෙනුවෙන් පුද්ගලාභිවාදනයට හෝ පුද්ගලයන් බලයට පත් කිරීමට අපි ලෑස්ති නෑ. ඒ වෙනුවෙන් ප්‍රතිපත්තියක්, අපි එදා ඉඳලා කිව්වේ ජාතික භික්‍ෂු සංසදය මතක ඇති අපි හැදුවා සම්මුතියේ මාලිමාව කියලා වැඩපිළිවෙළක්. ඒකෙදි අපි කිව්වේ මේ ප්‍රතිපත්තිය රජ කරවන්න වැඩ කරන්න කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි බොහෝම ආදරයෙන් ඉල්ලනවා. එහෙම නැතිනම් හෙට දවසේ මේ රටේ මේ අද වික්ෂිප්ත වෙලා බලාගෙන ඉන්න ඔය 69 ලක්‍ෂයේ එන්නේ. ඔවුන්ගේ ඉලක්කය තිබෙන්නේ කාටහරි බලය දීලා වැඩ කරන්න නෙවෙයි. ප්‍රතිපත්තියක් වෙනුවෙන් රට ගොඩගස්සන්න.

ඒ වෙනුවෙන් කරන යම් වැඩපිළිවෙළකට කොතැන හෝ තැනක ආරම්භයක් සිද්ධ වෙයි. ඒ ආරම්භයට මුල දෙන්න, එයට පණ දෙන්න මේ සියලු දෙනා සූදානමින් ඉන්නවා කියලා අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමැතියි.