ෆාමසි 36ක් බිඳ වසර 15ක් හිරේ සිට ඇවිත් යළිත් ෆාමසියක් කඩලා

0
21


කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් තිස් හයක් බිඳ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත්, මුදල් හා දේපළ සොරා ගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් වසර පහළොවක් සිර දඬුවම් විඳ පැමිණ මසක් ඇතුළත කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකින් දහ හත් ලක්‍ෂ අනූ තුන් දහසක් වටිනා මුදල් හා දේපළ සොරාගත් වෙන්නප්පුවේ “ක්‍රිෂ්ටි නිහාල්” ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පැවැසීය.

සොරකම් සියල්ලෙන් උපයාගත් මුදල් බූරුවා ගැසීම සහ රේස් බයි රේස් සූදු කෙළීම සඳහා වැය කර ඇතැයි පොලිසිය පැවැසීය. කොට්ටාව මහල්වරාව හන්දිය ආසන්නයේ පිහිටි පෞද්ගලික ඔසු සලක පිටුපස ආරක්‍ෂිත ‍ෙදාරක් කඩා ඇතුළුවී, එහි මුදල් අයකැමි ලාච්චුවේ තිබූ රුපියල් දාහතර ලක්‍ෂ හාර දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ තුනහමාරක් පමණ වටිනා අධික මිල ගණන් යටතේ අලෙවි වන විටමින් හා ආලේපන වර්ග තොගයක් සැකකරු සොරාගෙන ගොස් තිබිණි.

සැකකරු සොරාගත් භාණ්ඩ පෝර උරයක දමාගෙන හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක නැඟ කොළඹ දෙසට යන අයුරු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබිණි. සොරකම සිදුවූ දිනට පසුදා ඔසුසල් හිමි පැමිණ දෛනික කටයුතු ආරම්භ කිරීමට යෑමේදී ඔසුසලෙහි පිටුපස ආරක්‍ෂිත ‍ෙදාර කඩා ඇති අයුරු සහ ඔසුසලෙහි ස්ථාන රැසක් අවුස්සා මුදල් අයකැමි ලාච්චුවද විවෘත කර තිබෙනු දැක ඇතැයි පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී, සොරකමෙන් දින දෙකකට පසුව, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පො.කො. (77780) සම්පත් නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණේ සොරකම සිදු කළ පුද්ගලයාට සමාන පුද්ගලයකු කොට්ටාව බස් නැවතුම්පළ ආසන්නයේ රැඳී සිටින බවය. ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චතුරංග මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔසුසල බිඳ මුදල් හා දේපළ සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගත් බව පොලිසිය පැවැසීය.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී සොරාගත් මුදලින් 2,74,900 මුදලක් සන්තකයේ තිබී භාරයට ගත් අතර රුපියල් 3,50,000 පමණ වටිනා කිරි පිටි, ආලේපන වර්ග හා විටමින් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබිණි. මේවා කොළඹ නගරය ආශ්‍රිත ඔසුසල් රැසකට අලෙවි කර තිබූ අතර රුපියල් 2000 පමණ වටිනා මිල අධික කිරිපිටි ටින් එකක් රුපියල් 500කට විකුණා තිබිණි.

තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් 36ක් බිඳ ඒ සම්බන්ධයෙන් වරදකරු වී වසර 15 බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයකු බවත්, 2006 වසරේදී වත්තල ප්‍රදේශයේ දුම්වැටි ඒජන්සියකින් දුම්වැටි සොරා ගැනීමට ගිය අවස්ථාවේදී එහි ආරක්‍ෂක නිලධාරියාට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2021 දෙසැම්බර් මාසයේදී සිය අනියම් බිරිය තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවටත් අඹන්පොළ, පින්දෙණිය හා මහරගම යන පොලිස් වසම්වල වූ සොරකම් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු ක්‍රියාත්මක බවටත් තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. සැකකරු වසර 15ක සිට දඬුවම් විඳ නිදහස්ව පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවද පොලිසිය කීවේය. අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි “ක්‍රිෂ්ටි නිහාල්” නමැති (57) සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතා හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණ යටතේ සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චතුරංග, පො.කො. වික්‍රමසිංහ (21283), ජයන්ත (80094), සඳරුවන් (91504), විජේසිංහ (94036), බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සම්පත් (77780), විශේෂ කාර්යාංශයේ වර්ණසූරිය (30862) ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්‍ෂණ පවත්වති.

පන්නිපිටිය – හෂාන් පුෂ්පික