ළමාරක්ෂක අධිකාරිය ස්වර්ණවාහිනියේ වැඩසටහනක් අත්හිටුවයි

0
22


සවනි ශේශාධි 

ළමා හිංසනයක වින්දිත දරුවකු යොදාගෙන ස්වර්ණවාහිනි නාළිකාවේ ප්‍රචාරය කිරීමට සූදානමින් සිටි වැඩසටහනක් වහාම අත්හිටුවන ලෙසට ජාතික ළමාරක්ෂක අධිකාරිය නියෝග කර ඇත. 

අපරාධයක වින්දිත දරුවකුගේ අනන්‍යතාව අනාවරණය වන පරිදි මාධ්‍ය ප්‍රචාරයෙහි නිරත වීම තවත් වරදක් බැවින් මෙසේ එම රූපවාහිනි වැඩසටහන ප්‍රචාරය කිරීම අත්හිටුවීමට නියෝග කළ බව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ ‘මව්බිම’ට පැවැසීය. එම වින්දිත දරුවා මේ වැඩසටහන සඳහා තෝරා ගැනීමට එක්තරා සිදුවීමක් පාදක වූ බව පැහැදිලිවම පෙනෙන්නට ඇති නිසා එවන් සිදුවීමකට සම්බන්ධ බවට සැක කෙරෙන දරුවකු මේ අයුරින් මාධ්‍ය ඉදිරියේ අනාවරණය කිරීම යළි යළිත් එම දරුවා අපහරණය කිරීමක් බවද සභාපතිවරයා අවධාරණය කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් යළි යළිත් ආවර්ජනය කිරීම හා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම හා එය සාධාරණීකරණය කිරීම දරුවන්ගේ යහ පැවැත්මට තර්ජනයක් බවද එය පවතින ළමා රක්ෂක නීතිරීතිවලට අනුගත නොවන්නක් බවද ඔහු පැවැසීය.

යම් අපයෝජන සිද්ධියක ගොදුරක් බවට පත් වූ දරුවකු එහි වින්දිතයාසේම සාක්ෂිකරුවකුද වන නිසා මෙසේ මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කිරීමෙන් එම දරුවාට අගතියක් සිදුවන බව මතක තබාගෙන ක්‍රියා කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ දරුවා සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ පටය ගැන මේ වන විට මූලික විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද හෙතෙම කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මානුෂීය මුහුණුවරක් ආරෝපිත කොට එම දරුවා අන් අය වෙනුවෙන් පෙනී සිටීම හොඳ වැඩක් යැයි හුවා දැක්වුවද සැබැවින්ම මෙහිදී ළමා හිංසනයක් සිදුව ඇතැයි සභාපතිවරයා අවධාරණය කළේය.

මෙවන් හිංසන සිදුවීම්වලට ගොදුරු වූ දරුවකු, යම් අපරාධයක ළමා සාක්ෂිකරුවකු, අපරාධ චෝදනා එල්ල වුණු බාලවයස්කරුවකු අනන්‍යතාව හෙළි වන අයුරින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන්හි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් එම පාර්ශ්වවලට අගතියක් සිදුවීමට හේතුවක් බවද හෙතෙම කීය. එසේ අනන්‍යතාව හෙළිදරව් වූ විට එම නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට බාධා මතුවන නිසා එසේ අනන්‍යතාව හෙළි වන සේ කටයුතු කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා තවදුරටත් පැවැසීය.