හක්මන ගොවියන් සතු කුඹුරු අක්කර 15ක් ගොඩ කරන්න යයි

0
19


මාතර _ උදය කුමාර

හක්මන  ප්‍රධාන බස්  නැවතුම්පොළ  ආසන්නයේ ඇති හක්මන නගරයේ  කුඹුරු අක්කර පහළොවක්  රජය කිසිදු දැනුම් දීමකින් තොරව ගොඩ කිරීමට සූදානමක් පවතින බව පවසමින්  පෙරේදා (26දා) හක්මන ප්‍රධාන  බස්  නැවතුම්පොළ අසලදී විරෝධතාවක්  පැවැත් වුණි.

විරෝධතාවට ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ගොවීන් පිරිසක් සහභාගි වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ හක්මන නගරයේ විශාල ක්‍රීඩාංගණයක් තිබියදී  මෙන්ම හක්මන නගරයට  ප්‍රධාන බස් නැවතුම් පොළක් තිබියදී  එය සංවර්ධනය කරන මුවාවෙන් තමන්ගේ කුඹුරු අක්කර  පහළොවක්   අත්පත් කරගෙන මහා විනාශයක් කිරීමට සූදානම් වන බවයි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාද වගකිව යුතු බවට පවසමින් විරෝධතාකරුවෝ් විරෝධය ප්‍රකාශ කළහ. එහිදී ඔවුන් පැවැසුවේ කිසිසේත්ම මෙම කුඹුරු ගොඩ කිරීමට ඉඩ ලබා නොදෙන බවත් එසේ ගොඩ කිරීමට සූදානම් වුවවොත් ආරම්භක අවස්ථාවේ දීම ගිනි තියාගෙන මිය යන බවයි. මෙය වහා නැවැත්විය යුතු බවත් ජනාධිපති හා අගමැතිතුමාගේ අවධානය යොමු කළ යුතු බවත්ය. 

හක්මන ශ්‍රී  පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති   පූජ්‍යපාද දෙමටපිටියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ,

 අපි මේ සාමකාමී උද්ඝෝෂණය කරන්නේ විශේෂයෙන්ම මේ හක්මන ප්‍රදේශයේ අපේ ගොවි මහතුන්ගේ කුඹුරු ටික රජයට පවරා ගැනීමට එරෙහිවයි. ඒ පිළිබඳ අපට කිසිම දැනුම් දීමක් කරල නැහැ. මේ ප්‍රදේශයේ ඉන්නේ දුප්පත් ගොවියෝ. මේ දුප්පත් ගොවියන්ට කන්න තියෙන කුඹුරු ටික රජයට පවරාගත්තොත්් ඒ ජනතාව ජීවත් වෙන්නෙ කොහොමද. මේ වන විට හාල් කිලෝවක් රුපියල් දෙසීයක් බව අපිට ආරංචියි. මේ ගොවියන්ට වන්දියක් ලබා දීලත් නැහැ. මෙම කුඹුරුවලට පස් දාලා ගොඩ කරන්න ගියාම මේ ගොවියන්ට වෙන දේ මොකක්ද. මේ ගොවියන්ට තියෙන එකම කුඹුරු කෑල්ල මේක.  මේක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට වගේම ගාමිණී සේදර සෙනරත් මහත්තයාටත් කියන්නේ. මේ කුඹුරු රජයට පවරා ගන්න එක නවත්තලා මේ ජනතාවට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලයි. 

අගතියට පත් ගොවියකු අදහස් දක්වමින් මහත්තයෝ අපේ පරම්පරා ගාණක් ජීවත් වුණේ මේ කුඹුරුවලින්. මමත් දරුවෝ දහ දෙනෙක් හැදුවේ මේ කුඹුරෙන්. මේ කුඹුර කිසිසේත්ම ගොඩ කරන්න දෙන්නේ නැහැ. පළමුවැනි  පස් ටික දානකොට මම  මෙතැන ගිනි තියා ගන්නවා. අපිට වස බොන්න සල්ලි නැහැ. හැමෝම ඉදිරියේ මේ කියන්නේ.

කුඩා ගොවිබිම  සංවිධානයේ ලේකම්  වී.ජී.පී. කුමාර මහතා 

එදාවේල දිවි ගෙවාගන්න අහිංසක ගොවියන්ගේ කුඹුරු අක්කර 15ක් හක්මන ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කියලා බලහත්කාරයෙන් පවර ගන්න මේ වන විට කටයුතු කරලා. අපි ජනාධිපතිතුමාට වගේම සියලුම රාජ්‍ය ආයතන දහතුනකට මේ ගැන දැනුම් දුන්නා. එහෙම දැනුම් දුන්නත් මොකක් හරි දේශපාලන හස්තයකින් මේක යටපත් කරනවා. 

ඒ නිසා තමයි අපේ හාමුදුරුවන් වහන්සේව මූලිකත්වය තියාගෙන මේ විරෝධතාවයට අපි ආවේ. දැන් කිලෝ එක රුපියල් දෙසීයයි. ප්‍රදේශයේ මිනිස්සුන්ට ලොකු කුඹුරු නැහැ. ඇත්තටම මේ මිනිස්සු රජයට කරදරයක් නැතිව බත් ටික කනවා. තේරෙන් නැද්ද මේ ගොවියන්ගේ දුක. මේ අයට විජාතික ප්‍රතිපත්ති සමඟ යනවිට  මේ කුඹුරු කෙත්වතු සමහරවිට මේ නගරෙට ඇති අලංකාර දැනෙන්නෙ නැතිව ඇති. මේ අහිංසක දරුවන්ට බඩගින්න නිවා ගන්නත් පන්සලේ හාමුදුරුවන්ට දානෙ හදන්නත් තියෙන මේ කුඹුරු ගොඩ කරන්න එපා  කියලා ඉල්ලනවා.

හිතුමතේට තමයි මේ ගොඩ කරන්නේ.හක්මන ක්‍රීඩාංගණයක් තියෙනවා. ඒ වගේම බස් නැවතුම්පොළක් තියෙනවා. මොකටද තවත් ක්‍රීඩාංගණ. ප්‍රාදේශීය ලේකම්ගෙන් ඇහුවම එයා කියනවා ඉහළින් ආපු ඕඩරයක් කියලා. කිසිසේත්ම මේක කරන්න දෙන්නෙ නැහැ යැයි විරෝධතාව. එක්වූ තවත් අයකු ප්‍රකාශ කළේය.

පැයක  පමණ විරෝධතාවෙන් පසු  විරෝධතාව අවසන් වූයේ අදාළ බලධාරීන් මේ සඳහා වහා පිළිතුරු සැපයිය යුතු බව පවසමිනි.