ශ්‍රී ලනිප ඇමැතිවරුන් ඉල්ලා අස්වී ආදර්ශයක් දෙන්න

0
52


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, හොරණ – ප්‍රසන්න එදිරිසිංහ

සර්වපාක්‍ෂික සමුළුවේදී අලුත් අය – වැයක් පිළිබඳව කතා වුණා පමණක් නොව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක් ගෙන ආ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වී එම ආදර්ශය පෙන්විය හැකි බවත් එසේ වුවහොත් තමාත් ඉල්ලා අස්වී පොහොට්ටුවෙන් ආදර්ශයක් දෙන බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මේ බව පැවසුවේ පසුගියදා (26දා) හොරණ රාජකීය විද්‍යාලයේ පැවැති Hope4SL වැඩසටහනට එක්වෙමිනි. ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අනාගත බලාපොරොත්තු සහ අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වූ අතර මෙහිදී දේශීය – විදේශීය රැකියා අවස්ථා, ව්‍යවසායකත්ව පුහුණු අවස්ථා, උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ දැනුවත් කිරීම් දවස පුරා සිදු කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් සර්වපාක්‍ෂික සමුළුව කැඳවූ බවත් සමහරුන් ඒ සඳහා සහභාගි නොවූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යෝජනාවක් ක්‍රියාත්මක කළ නිසා විය හැකි බව සිතන බවත්ය.

අපිට ජාතික ආණ්ඩු හදන්න අවශ්‍යතාවක් නැහැ. එහෙම ජාතික ආණ්ඩුවක් හදන්න තියෙනවා නම් එකම හේතුව ඇමැතිවරු වැඩිකර ගැනීම. අපිට ඕනෙ තරම් පක්‍ෂ තිබුණා ජාතික ආණ්ඩු හදන්න. හැබැයි එහෙම කළේ නැත්තේ ඒක අවශ්‍ය නැති නිසා. ජාතික ආණ්ඩුවක් හදන්න ඕනෙය කියලා සර්වපාක්‍ෂික සමුළුවේදී අදහසක් එනවා නම් ඒක පක්‍ෂ නායකයන්ට සලකා බලන්න පුඑවන්.

දේශපාලන වශයෙන් අපහසු කාලසීමාවල් පසුකරනකොට නොයෙක් විරෝධතා එනවා. මීට පෙර කිව්වා බැසිල් රාජපක්‍ෂ මහත්තයාව ගේන්න කියලා.  මේ අවස්ථාවේ කළ යුත්තේ ප්‍රශ්නවලින් පැනයෑම නෙමෙයි. ජනතාව පත්වෙලා ඉන්න තත්ත්වයෙන් මුදා ගැනීම. මේ 225 වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්, මේ වගකීම පැහැර හරින්න බැහැ. ලේසිම දේ තමයි ඉල්ලා අස්වෙනවා කියලා අස්වෙන එක. නමුත් ඒක නෙමෙයි කරන්න ඕනෙදේ. ජනතාව පත්වෙලා ඉන්න අපහසුවෙන් ගොඩගන්න ආණ්ඩුවක් විධියට අපි එකතුවෙලා කටයුතු කරන එක.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලලිත් වර්ණකුමාර, සංජීව එදිරිමාන්න සහ අනුප පැස්කුවල් මහත්වරුන්ද ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්‍ෂ දමිත වික්‍රමසිංහ මහතා ඇතුඑ නිලධාරීන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.