ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන් සහභාගි වන පළමු තරගය අද

0
20


ගමිත දෙහිපිටිය 

සිවුකොන් විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී  ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා බංග්ලාදේශය බලා පිටත්ව ගිය අතර, එම තරගාවලියේදී ශ්‍රී  ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (28දා) සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇත. 

කෙසේ වෙතත් මෙම තරගාවලියේ ශ්‍රී  ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය හෙට (29දා) ඉන්දීය පිල සමඟත්, තෙවැනි තරගය අනිද්දා (30) නේපාලය සමඟිනුත් පැවැත්වේ. 

මෙහි අවසන් මහා තරගය බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිතය.  

ඉන්දියාව, ශ්‍රී  ලංකාව, නේපාලය සහ සත්කාරක බංග්ලාදේශයේ සහභාගිත්වයෙන් මෙම සිවුකොන් ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. 

උපාලි රෝහණ විරසිංහ මෙහිදී ශ්‍රී  ලංකා පිලට නායකත්වය ලබා දෙන අතර, සංජීව අරංගල්ල එහි උපනායකයා ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී  ලංකා ශාරීරික අභියෝග සහිත වූවන්ගේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවිණ පුහුණුකරු අනූෂ සමරනායක මහතා කටයුතු කරනු ලබයි. කෙසේ වෙතත් මෙම සිවුකොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී  ලංකා පිලේ වැඩබලන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලෙහි සහාය පුහුණුකරු නලින් මධුසංක මහතා කටයුතු කරයි.