විනෝද වෙන්නයි දැනුම ලබන්නයි මේ තැන්වලට යන්න

0
93

අපි ගොඩක් කැමැතියි ලස්සන දේවල් බලන්න. ලස්සන තැන්වල ඇවිදින්න. ගංගාවකින්, ඇළකින්, ‍ෙදාළකින් හෝ වැවකින් වතුර ටිකක් නාගන්න. ඇත්තටම එය වෙනස්ම අත්දැකීමක්. හැල්මේ දුවන ජීවිතවලට අපි පුංචි විරාමයක් ලබාදෙන්නේ මානසික තෘප්තිය වෙනුවෙන්. අරමුණු සහ ඉලක්ක ජයගැනීමට අපගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් කරනවිට ඉතිරි වන පුංචි ඉඩ ඇතුළේ හෝ ස්වභාවධර්මයත් සමඟ ගත කරන්නට තිබෙනවා නම් කොයිතරම් නම් සුන්දරද? අද කියන්නට යන්නේ තරුණ ඔබට පවුලේ සාමාජිකයන්ද සමඟ විනෝදය සහ අධ්‍යාපනික වැදගත්කමක් ලබාගනිමින් සංචාරය කිරීමට සුදුසු සුන්දර ස්ථාන කිහිපයක් ගැනයි.

වස්ගමුව

බොහෝ තරුණියන් සෆාරි සංචාරයට ගොඩක් උනන්දුයි. වස්ගමුව කියන්නේ ඔබට පවුලේ අයත් සමඟ සංචාරය කරන්න සුදුසුම ස්ථානයක්. වස්ගමුව පිහිටා තිබෙන්නේ මාතලේ  සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මායිම් වෙලා. එහි ප්‍රධාන පිවිසුම හඳුන්ගමුවේ පිහිටා තිබෙනවා. අක්කර 36,900 භූමිභාගයක් පුරා මෙය විහිදී පැතිරී තිබෙනවා. නැඟෙනහිරින් මහවැලි නදියටත්, බටහිරින් අඹන් ගඟටත් වස්ගමුව මායිම් වෙනවා. එහි වාර්ෂික වර්ෂාපතනය 1750mm/ 2250mm පමණ වෙනවා. සාමාන්‍ය උෂ්ණත්වය 270ඛ් යි. මෙය මෙරට පිහිටි ජාතික වනෝද්‍යානයක්. මෙහිදී වන අලින්, මුවන්, සාවුන්, වලසුන් සහ කුරුලු විශේෂ රැසක් දැකගන්නට පුළුවන්.

කොට්ටව

කොට්ටව අයත් වන්නේ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට. කොට්ටව රක්ෂිතය අක්කර 15ක භූමි ප්‍රමාණයක් පුරා විහිදෙනවා. මෙය වර්ග කෙරෙන්නේ තෙත් කලාපීය අර්ධ වැසි වනාන්තර ගණයටයි. මෙහි ගුරුබැවුල පිහිටි ස්වාභාවික නාන තටාකය බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගත් තැනක්. සාමාන්‍යයෙන් නාන තටාකයක ජලය විටින් විට පිරිසුදු කරන්න සිද්ධ වෙනවා. නමුත් මෙය නිර්මාණය කරලා තිබෙන්නේ ස්වාභාවික ක්‍රමයකට නිසා ජලය ස්වාභාවිකවම පිරිසිදු වෙනවා. මෙහි අපවිත්‍ර ජලය ස්වාභාවිකවම ඉවත් වී ගොස් පිරිසිදු ජලයෙන් පිරෙනවා. ඒ නිසා මෙහිදී ඔබට සිතේ හැටියට විනෝද වෙන්න පුළුවන්.

ජාතික කුළුබඩු උද්‍යානය

පවුලේ සාමාජිකයන් සමඟ සංචාරය කරන විට විනෝදයට අමතරව අධ්‍යාපනික වැදගත්කමක් තිබීමත් හොඳයි කියලා යම්කෙනකුට සිතෙන්නට පුළුවන්. එවැනි අයට යන්න හොඳම ස්ථානයක් තමයි ජාතික කුළුබඩු උද්‍යානය කියන්නේ. මෙය පිහිටලා තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. මෙහිදී ඔබට කුළුබඩු 15ක් පමණ දැකබලා ගන්නට පුළුවන්. ඒ වගේම දැරිය හැකි මිලකට ඒවා මිලදී ගන්නත් පුළුවන්. ශ්‍රී  ලංකාවට ආවේණික විවිධ කුළුබඩු වර්ග ගැන හැදෑරීමටත් මෙමඟින් ඔබට අවස්ථාව ලැබෙනවා.

රූමස්සල

රූමස්සල කන්ද පිහිටා තිබෙන්නේ ගාල්ල සහ මාතර අතරය. එක් පසෙකින් ගාලු වරායත් අනෙක් පසින් රූමස්සල උණවටුන වෙරළත් පිහිටනවා. එම නිසා රූමස්සල, සංචාරය කරන ඔබට උණවටුන වෙරළේ විනෝද වෙන්නත් පුළුවන්. රූමස්සල අධ්‍යාපනික වශයෙන්ද වැදගත් වෙනවා. රූමස්සල ජෛව විවිධත්වයෙන් අනූන පරිසරයක්. තෙත් කලාපයට, වියළි කලාපයට අයත් ශාක සහ ශුෂ්ක කලාපීය ශාකත් මෙහිදී දැකගන්නට පුළුවන්. රූමස්සල පිහිටන්නේ මුහුදු මට්ටම සිට 110mක්  ඉහළිනි. මෙහි සංචාරය කරන විට වැල්ල දේවාලයට යන්නත් අමතක කරන්න එපා. ඉතා දුර්ලභ කඩොලාන විශේෂයක් වන තෝන්තාලම් ශාකය දැකගන්නට ලැබෙන්නෙත් වැල්ල දේවාල ආශි්‍රත ප්‍රදේශයේදී පමණයි. ඒ වගේම මෙහිදී ඔබට සමනල විශේෂ, මුහුදු රාජාලියා, මුහුදු ලිහිණියන් වැනි කුරුලු වර්ග, දඬුලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියා, ඉත්තෑවුන් වැනි සතුන්ද, නාගයන්, පිඹුරන්, මාපිලා වැනි උරගයෝද බලා ගන්න පුළුවන්. හැබැයි මේ දේවල් දකින්න නම් ඔබට ඉතාම හොඳ වාසනාව සහ නිරීක්‍ෂණශීලී ඇසක්ද තිබෙන්නට ඕනෑ. ඒ විතරක් නොවෙයි මුහුදු ජීවීන් රැසක් ජීවත් වන බොනවිස්ටා කොරල්පරය තිබෙන්නේ රූමස්සල කන්ද පාමුල මුහුදු තීරය ආශි්‍රතවයි.

ඉබ්බන්කටුව මහ ශිලා උද්‍යානය

තරුණ ඔබට පවුලේ අයත් සමඟ සංචාරය කරන්න තිබෙන තවත් ස්ථානයක් තමයි ඉබ්බන්කටුව මහ ශිලා සුසානය කියන්නේ. මෙය පිහිටා තිබෙන්නේ දඹුල්ල නගරයේ සිට 5km පමණ නිරිත දෙසට වන්නට කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ. දැනට මෙම භූමිය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථානයක් ලෙස නම් කරලා තිබෙනවා. මෙය ප්‍රථම වරට හඳුනා ගන්නේ 1970 වසරේදීයි. මෙය හෙක්ටයාර් 6ක භුමියක් පුරා විහිදී පවතිනවා. සොහොන් සංකීර්ණය, සොහොන් පොකුරු හතළිස් දෙකකින් ආවරණය වන අතර සෑම පොකුරකම සොහොන් දහය බැගින් අඩංගු වෙනවා. එහි සෑම සොහොනක්ම ගල් පුවරු හතරකින් වට කර ඇති අතර ඉහළින් තවත් ලෑල්ලකින් ආවරණය කරලයි තිබෙන්නේ. මෙහිදී ඔබට පැරැණි මැටි බඳුන්, යකඩ, තඹ ආදී කෞතුක භාණ්ඩත් පබළු, මාල ආදියත් දැකබලා ගන්න පුළුවන්.

යාපනය කෞතුකාගාරය

යාපනය කෞතුකාගාරය කියන්නේ ඔබ යා යුතුම තවත් වැදගත් තැනක්. මෙය පිහිටා තිබෙන්නේ නල්ලූර් – නාවලර් මාර්ගයේය. මෙම කෞතුකාගාරය ඉදිවී තිබෙන්නේ 1978 වර්ෂයේදීය. යාපනය නගරය කේන්ද්‍ර කොටගත් උතුරු පළාතේ විවිධ ස්ථානවලින් ලැබුණු සහ විවිධ පුද්ගලයන් විසින් පරිත්‍යාග කළ විශිෂ්ටතම භාණ්ඩ එකතුවක් මෙහිදී ඔබට නරඹන්න පුළුවන්. බෞද්ධ සහ හින්දු ආගමික උරුමයන් විදහා දක්වන මෙම භාණ්ඩ එකතුවට ලෝහ, ලී සහ ගල් භාණ්ඩද ඇතුළත් වෙනවා. එමෙන්ම කන්දරොඩෙයිහි පුරාවිද්‍යාත්මක ව්‍යාපෘතියේ කැණීම්වලින් සොයාගත් සමහර කෞතුක භාණ්ඩද මේ තුළ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

දුමිදු ලංකා බණ්ඩාර