වසර 6කට පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලක් ශ්‍රී ලංකාවට එයි

0
18


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී  ලංකා තරග සංචාරයේ තරගාවලිය කාලසටහන ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 

මෙහිදී ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි-20 තරග 3ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එම තරගාවලි එළැඹෙන ජූනි සහ ජුලි මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී  ලංකා තරග සංචාරය ආරම්භ කරමින් විස්සයි-20 තරගාවලිය ජුනි මස 7 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එක්දින තරගාවලිය ජුනි මස 14 වැනිදා සිටත්, ටෙස්ට් තරගාවලිය ජුනි මස 29 වැනිදා සිටත් ආරම්භ වීමට නියමිතව ඇත. 

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු පිලක් ශ්‍රී  ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 6කට එනම් 2016 වසරින් පසුව වීමද කැපී පෙනේ. 

මේ අතර ඕස්ට්‍රේලියානු සුපිරි මැදපෙළ පිතිකරු ස්ටීවන් ස්මිත් පාකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ඇති බව පැවසේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී  ලංකාව සමඟින් එළැඹෙන ජූනි මාසයේ පැවැත්වීමට නියමිතව ඇති ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාකිස්තානු විස්සයි-20 තරගාවලියෙන් ස්මිත්ව විවේක ගන්වා ඇති බවයි.