වරක් මියගිය කතක් මාස තුනහමාරකට පසු යළිත් මියගිහින්

0
26


අතුරුදන්ව සිටි තිදරු මවකගේ දේහය යැයි සිතා දියණියක් විසින් නාඳුනන මෘත දේහයක් නිවෙසට ගෙනගොස් අවසන් කටයුතු කිරීමෙන් පසු මව ජීවතුන් අතර සිටියදී හමුවී ඇති අතර සත්‍ය වශයෙන්ම ඇය මිය යෑම පිළිබඳ මරණ පරීක්ෂණය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

මියගොස් ඇත්තේ මීගහතැන්න කුමිබදුව පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ඉන්ද්‍රා නම් වූ 66 හැවිරිදි කාන්තාවකි.

හදිසි අනතුරකින් මියගිය නාඳුනන කාන්තාවකගේ මෘත ශරීයක් කළුර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී ඒ තම මවගේ මෘත දේහය යැයි සිතූ දියණිය එය නිවෙසට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර තිබිණි.

කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති මෙම හදිසි මරණ පරීක්ෂණයේදී වලවගේ චමිලා ගංගාගි (අවු. 46) යන අය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

“මියගොස් ඇත්තේ මගේ අම්මායි. අම්මාට අවුරුදු තුනක විතර ඉඳලා සිහි කල්පනාව අඩු තත්ත්වයක් තිබුණා. ඒ අනුව මීට අවුරුදු තුනකට විතර කලින් අම්මා ගෙදරින් ගියා. අපට අම්මාව හොයාගන්නට බැරි වුණා.

කළුතර රෝහලේ නාඳුනන කාන්තා මළ සිරුරක් තියෙනවා කියලා ඒ දවස්වල අපට ආරංචි වුණා. අපි ගිහින් බැලුවාම ඒ අපේ අම්මා වගේමයි. ඒ අනුව අපි ඒ මෘත ශරීරය ගෙදරට ගෙනගොස් අවසන් කටයුතු කළා.

ඊට මාස දෙකකට විතර පසුව අම්මා ඉන්නවා කියලා දැනගත්තා. ඒ අනුව අම්මාව ගෙදර එක්කරගෙන ආවා. ඊට පසුව අම්මාට ඇවිදින්න බැරිව ගියා. ඇඳටම වැටුණා. සිද්ධිය වූ දින අසනීප වූ අම්මාව මීගහතැන්න රෝහලට ගෙන ගියා. එතැනින් නාගොඩ රෝහලට මාරුකර යැවීමෙන් පසුව අම්මා මිය ගියා.

මෙහිදී කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරත්න මහතා ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය රුධිරයට විසබීජ එකතුවීමෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය.

මීගහතැන්න පොලිසියේ කොස්තාපල් තුෂාර (52608) මහතා සාක්ෂි මෙහෙය විය.

කළුතර – සුජිත් මාරියෝ