වත්තල හුණුපිටිය ධම්මවිජයාරාම චෛත්‍යයේ කොත නිරාවරණය 09දා

0
33


වත්තල, හුණුපිටිය නාහේන ශ්‍රී  ධම්මවිජයාරාමයේ අභිනවයෙන් ඉදි වූ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ පින්කම අප්‍රේල් මස 09 වැනිදා සවස 4.00ට සිදුකිරීමට නියමිතය. විහාරාධිපති ගම්පහ දිසාවේ සියනෑ කෝරලයේ ප්‍රධාන සංඝනායක වේවැල්දූවේ ධම්මකිත්ති නාහිමිගේ හා විහාරාධිකාරී ශාස්ත්‍රපති එ‍ෙ¾ඩ්රමුල්ලේ ධම්මසිද්ධි හිමිගේ මඟපෙන්වීම පරිදි කලාශිල්පි සුනිල් රත්නායක මහතාගේ නිර්මාණ දායකත්වයෙන් හා ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් නව චෛත්‍යයේ ඉදිකිරීම් සිදුකෙරිණි.

මෙම පින්කමට සමගාමීව විහාරස්ථානයේ ඉදිකරන ලද ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය අප්‍රේල් 08 වැනිදා සිදුකිරීමට නියමිතය. එදින රාත්‍රි 7.00ට විශේෂ ධර්මදේශනාවක් හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක්ද පසුදින (09දා) උදෑසන සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විහාරාධිපති හිමියෝ පැවැසූහ. ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම කොළඹ සිරිඋයන පදිංචි ශේන් විජේතුංග හා එච්.එම්. ප්‍රභා කංචනා කුමාරි දෙපළගේ ධන පරිත්‍යාගයෙන් සිදුවූ බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

කොත නිරාවරණය කිරීමේ පින්කම සඳහා අමරපුර මහා නිකායේ සහකාර ලේඛකාධිකාරි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති බැරගම විමලබුද්ධි නාහිමි ප්‍රමුඛ මහ සංඝරත්නය හා කුඩා හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගි වීමට නියමිත බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.