ලෝක ශාසනික මෙහෙවරක නිරත වූ පෑලව නාහිමියෝ

0
27


දහනව වැනි සියවසේ පටන් විසිවැනි සියවසේ මුල් දශක දෙක අවසාන වන තුරු වසර 50ක පමණ කාලයක් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන අතිමාත්‍ර ලෝක ශාසනික සේවාවන් හි නිරත වූ රාජපූජිත පෑලව ශ්‍රී  ධම්මරතන නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර සියයක් සම්පූර්ණ වෙයි. ක්‍රි:ව: 1851 මැයි මස 13 දින යටිනුවර ඓතිහාසික ගන්නෝරුව රණදෙරණට යාබද පෑලව ග්‍රාමයේදී උන්වහන්සේ උපත ලැබූහ.

බෝධාහාර පරම්පරානුයාත සමරක්කොඩි බෝධිගුත්ත දම්පතීන් දයාබර මවුපියන් වූ අතර ගිහි නාමය වූයේ බෝධිදාස සමරක්කොඩිය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට ලක් දෙරණ යටත්ව පැවැති එම යුගයේදී පෑලව විද්‍යාලයෙන් ඉංගී්‍රසි මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. මෙම කාලයේදී මහනුවර කේන්ද්‍ර කරගත් උඩරට පළාත්වල උඩරට අමරපුර සමාගමේ භික්‍ෂුන් වහන්සේලා ගම් නියම්ගම් හි සැරිසරමින් පොදු මහජනතාවට අර්ථයෙන් ධර්ම අනුශාසනා පැවැත්වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම අමරපුර සමාගමේ ප්‍රථම මහා නායක සංඝානන්ද සනප්පධාන උඩගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායව පල්ලේගම සෝමානන්ද ස්වාමිපාදයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ශ්‍රී  බු:ව: 2420 මැයි මස 08 වැනි දින සමරක්කොඩි තරුණයා ධම්මරතන නමින් පැවිදි විය. පැවිදි වන විට විසි වයස් සපුරා සිටි පෑලව ධම්මරතන හෙරණපාණෝ උගතමනා මූලික බණදහම් හදාරා නොබෝ කාලයකින්ම අධි ශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වූහ. 

වර්ෂ 1877 මැයි 17 වැනි දින පහත රට ස්වනිකායික කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සමඟ ගාලු වරායෙන් නැව් නැග්ගාහ. මෙම ගමනට කැපකරු දායක මහත්මා වශයෙන් සහභාගි වූයේ උඩරට පළාතේ ඉතා ප්‍රසිද්ධ බෞද්ධ ජනනායකයකු වූ කොබ්බෑකඩුව මහ දිසාපතිතුමාය. 

පළමුකොටම දඹදිව බුද්ධභූමි වන්දනා කරගෙන ජුනි 26 වැනි දින බුරුම රට බලා පිටත් වූහ. එරට බොහෝ වැදගත් සිද්ධස්ථාන වන්දනාමාන කරගෙන සැප්තැම්බර් 07 වැනි දින මණ්ඩලේ නුවරට හෙවත් අමරපුරයට වැඩම කළහ. එහිදී තමන් වහන්සේ ලංකාවේදී ලබාගත් උපසම්පදාව ප්‍රතික්‍ෂේප කොට ඤාණින්දාභි සිරි කවිධජ මහාධම්ම රාජාධිරාජගුරු නම් වූ සංඝරාජයන් වහන්සේ උපාධ්‍යායවැ මහාවිහාර පරම්පරානුයාත සුපරිශුද්ධෝපසම්පදා භූමියට පත්වූහ. 

තවත් අවස්ථාවකදී පූජ්‍ය ධම්මරතන නාහිමියෝ සියම් රටට වැඩම කළහ. උන්වහන්සේගේ ශීලාදී ගුණ හා ධර්ම විනය ධරත්වය පිළිබඳව ප්‍රසාදයට පත් වූ එවකට සියම් රටෙහි අග්‍රරාජයා වූ චූලාලංකාර ධම්මගුත්ත මහරජතුමා උන්වහන්සේට ආරාධනා කොට ස්වකීය චූලාලංකාර ධම්මගුත්තාරාමයේ වස් සමාදන් කරවා ගත්තේය. වස් අවසානයේදී කඨින චීවර පූජා කොට විශේෂ වූ රාජකීය පරිෂ්කාරාදියෙන් ගරුතර ධම්මරතන හිමියෝ පුදනු ලැබූහ. මෙසේ පළමුවරට බුරුම මහ රජතුමා විසින්ද දෙවැනි වරට සියම් මහ රජතුමා විසින්ද දෙවරක්ම අප නාහිමියෝ රාජපූජිත බවට පත් වූහ. 

දැන උගත් පිරිස මෙන්ම මුද්‍රිත පොතපද ඉතා දුර්ලභ වූ මෙම යුගයේදී ධම්මරතන නාහිමියන් විසින් විශේෂයෙන්ම නවක භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ධර්ම විනය පිළිබඳ සරල බසින් බොහෝ ධර්මපත්‍රිකා අත් අකුරින්ම පිටපත් කොට ප්‍රචාරය කළහ. 

විශේෂ වශයෙන් මෙම නාහිමිපාණන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙන්ම එයට යාබද මාතලේ, කුරුණෑගල ආදී පළාත්වලද  බහුල වශයෙන් ප්‍රසිද්ධ ධර්ම දේශනා පැවැත්වූහ. මේ සඳහා උන්වහන්සේට මාතලේ දුල්ලෑව මහාධිකාරම්තුමාද නුගවෙල වලව්වේ මහාධිකාරම්තුමාද යටිනුවර කොබ්බෑකඩුව වලව්වේ මහාධිකාරම්තුමාද  ආදී උඩරට රදල ප්‍රධානීන්ගේ ගෞරවනීය අනුග්‍රහය සැමවිටම ලැබුණේය. දුල්ලෑවේ මහාධිකාරම්තුමා තම වලව්වේ මෙම නාහිමිපාණන් වහන්සේ වස් සමාදන් කරවාගෙන මාතලේ ප්‍රදේශයේ මිෂනාරී උවදුරින් මුදා ගැනීමට මහත් කැපවීමෙන් ක්‍රියා කර ඇත. 

ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන රුවන්වැලි මහා චෛත්‍ය රාජායාණන් වහන්සේ අද පවතින තත්ත්වයට ප්‍රතිනිර්මාණය කරන ලද ගම්පොළ නාරංවිට ශ්‍රී  සුමනසාර නාහිමිපාණන් වහන්සේ ශ්‍රී  ධම්මරතන නාහිමියන්ගේ අතිජාත මිත්‍රයෙකි. එනිසා නිරතුරුවම කන්ද උඩරට ජනතාව උනන්දු කරවා චෛත්‍ය කර්මාන්තයට ආධාර යැවීම නාහිමියන්ගේ ප්‍රධාන කාර්යභාරයක් විය. ප්‍රවාහන පහසුකම් බෙහෙවින් දුෂ්කර එම යුගයේ නුවර සිට අනුරාධපුරයට සිමෙන්ති පීප්ප සිය ගණනක් ගෙන ගියහ. තවත් අවස්ථාවක මෙම උතුම් චෛත්‍ය කර්මාන්තය පිළිබඳ රටවැසියන්ගේ අවධානය ලබා ගැනීමට උඩරට හේවිසි, නැටුම් ආදී අංගයන්ගෙන් විසිතුරු වූ මහා පෙරහරක් නුවර සිට දින ගණනකින් අනුරාධපුරය දක්වා පා ගමනින්ම ගමන්කොට ඇත. අති විශාල ජන ගඟක් මේ සඳහා සහභාගි වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සෞඛ්‍ය පහසුකම් හා ආරක්‍ෂා රැකවරණ ශ්‍රී  ධම්මරතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් සම්පාදනය කර ඇත. මෙම පෙරහර අනුරාධපුරයට සේන්දු වූ විට ප්‍රදේශය භාර සුදු ඒජන්තවරයා වික්‍ෂිප්ත වී අසුපිට නැඟී පිරිස් අතරින් යන විට පෙරහරේ ගිය මහලු උපාසිකාවක් අනතුරට ලක්වී අසාධ්‍ය වූවාය. එයින් කිපුණු පෙරහරකරුවෝ ඒජන්ත බංගලාව වටකොට ගල් ගැසූහ. මෙම අරගලය නතර කිරීමට අනුරාධපුරයේ සිටි බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අතිශය වෙහෙස ගත්තේය. මේ සිද්ධිය නිසා ධම්මරතන නාහිමියන්ට විරුද්ධව අනුරාධපුර අධිකරණයේ නඩුවක් ගොනු විය. අවසානයේදී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සිරගත වී ධම්මරතන නාහිමියන්ට නිදහස ලබා දුනි. 

තවද ධම්මරතන නාහිමියෝ ශ්‍රී  දළදා වහන්සේ වෙනුවෙන් විශේෂ දළදා පූජා පවත්වා තිබේ. වර්තමානයේ තරම් සංවර්ධිත බවත් එවකට දළදා මාලිගාව පරිශ්‍රයේ නොතිබූ අතර දළදා මාලිගාවේ මුළුතැන්ගෙය සකස් කර එයට අවශ්‍ය නළ ජලයද දළදා පූජාවට අවශ්‍ය ස්වර්ණමය භාජන පූජා කිරීම ආදී සේවාවන් රාශියක් මහත් හරසරින් කර ඇත. මෙයින් ප්‍රසාදයට පත් නුගවෙල දියවඩන නිලමේතුමා ශ්‍රී  ධම්මරතන නාහිමියන් වැඩ සිටි බටගල්ල ශ්‍රී  සුධර්මාරාමය රාජමහා විහාරයක් වශයෙන් නම් කර වාර්ෂික අලුත් සහල් මංගල්‍යයේදී දළදා මාලිගාවෙන් සහල් ලබාදීමට සම්මත කරන ලදී. එය අද පවා අඛණ්ඩව සිදුවෙයි. 

මෙවන් අනභිභවනීය අනර්ඝ ලෝක ශාසනික සේවාවක් සිදුකොට වදාළ රාජපූජිත සිරි සද්ධම්මකිත්ති විනයාචාර්ය ගණප්පධාන පෑලව ශ්‍රී  ධම්මරතන නාහිමියන් ක්‍රි:ව: 1922 ජනවාරි 01 වැනි දින මහනුවර දෙයියන්නේවෙල ශ්‍රී  සුදර්ශනාරාමයේදී සිහිනුවණින් යෙදී දිවංගත වී වදාළහ. 

අපවත්වී වදාළ පෑලව ශ්‍රී  ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා… 

පේරාදෙණිය ශ්‍රී  සුබෝධාරාම 

ඤාණාලංකාර ජාත්‍යන්තර භික්‍ෂු අභ්‍යාස ආයතනයේ 

ගරු පරිවේණාධිපති 

රාජකීය පණ්ඩිත මඩදෙණියේ පුඤ්ඤරතන මහස්ථවිර.