ලොකුගේ ගේ රියැදුරු ඝාතනයට සැකපිට සිසුවෙක් අල්ලයි

0
18


කොළඹ _ ජයසිංහ

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියැදුරාගේ ඝාතනයට 19 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 

මේ වනවිට එම ඝාතනය සම්බන්ධයෙන් එකම පවුලේ සිවු දෙනකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ලබන මස 5දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත. 

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන බවත් උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින්නකු බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

මාවිත්තර ගම්මාන වත්ත ප්‍රදේශයේ 21 දින සවස අධික වේගයෙන් යතුරුපැදියක් පදවමින් සිටි ප්‍රධාන සැකකරු අමතා ඝාතනයට ලක් වූ රියැදුරු හෙමින් යතුරුපැදිය පදවන ලෙස පැවැසීමෙන් අනතුරුව එයට උරණව සැකකාර තරුණයා සහ පවුලේ අය සහ තවත් පුද්ගලයන් කිහිප දෙනකු එක්ව මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබිණි. 

ඝාතනය සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය කීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.