රු. 450ට තිබූ වැව් මාළු කිලෝව 600යි

0
23

එප්පාවල _ කුමාර දිසානායක

ජනවාරි මාසයේ රුපියල් 450කට අලෙවි වූ වැව් මාළු කිලෝවක් මේ වනවිට රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇත. 

ඩොරලයට සාපේක්ෂව රටේ අනෙකුත් භාණ්ඩලවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ මුහුදු මාළු මිල ගණන්ද අසීමිත ලෙස ඉහළගොස් තිබේ. ඊට සාපේක්ෂව වැව් මාළුවල මිල ගණන් වැඩිකර තිබෙන බව පාරිභෝගික ජනතාව පවසති.

අධික ලෙස වැව් මාළු මිල වැඩිවීම හේතුවෙන් පෝෂණ ගුණයෙන් යුතු මාළු කෑල්ලක් දරුවන්ට දීමට තිබූ අවස්ථාවද අහිමි වී ගොස් ඇතැයිද ජනතාව පවසති. මේ පිළිබඳව ධීවරයන් කිහිපදෙනකුගෙන් කළ විමසීමකදී ඔවුන් පැවැසුවේ ධීවර ආම්පන්නවල මිල ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇති නිසා තමන්ට තවදුරටත් අඩු මිලකට වැව් මාළු ලබාදීමට හැකියාවක් නොමැති බවයි.

විශේෂයෙන් වැව් මාළු මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ වැව්වල එළා ඇති දැල්වලින් මසුන් සොරාගන්නා පිරිසක්ද බිහිවී ඇතැයි ධීවරයෝ පවසති. දහවල් කාලයේ දැල් එළා අවසන් කර නිවෙසට පැමිණ පසුවදා දැල් එකතු කිරීමට යෑම පුරුද්දක් වශයෙන් ධීවරයන් කළද මාළු මිල වැඩිවීමත් සමඟ සොරුන්ගෙන් මාළු හා දැල් ආරක්ෂා කරගැනීමට වැව් අසලටම වී තමන්ට මුර කිරීමට සිදුව තිබෙන බවද ධීවරයෝ පවසති.