රාගමට හිසරදයක් වූ යාචක ගැටලුව

0
39


රාගම නගරයේ සැරිසරන යාචක ප්‍රජාව සිදු කරනු ලබන නොයෙකුත්

විෂමාචාර ක්‍රියා හේතුවෙන් රාගම නගරයට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව මෙන්ම ප්‍රදේශයේ ජනතාවට යම් යම් ගැටලු ඇති වන බව බොහෝ පිරිසක් පෙන්වා දෙති. 

රාගම නගරය හේතු කිහිපයක් නිසා ලංකාවේ සුවිශේෂී නගරයක් ලෙස හැඳින්වේ. කොළඹ සිට උතුරු දෙසට ඇති දුම්රිය මාර්ගයේ ප්‍රථම දුම්රිය මංසන්ධිය රාගම නගරය වෙයි. උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ලංකාවේ ඇති එකම විකලාංග රෝහල වූ පුනරුත්ථාපන රෝහල, රණවිරු සෙවණ, රාගම වෛද්‍ය පීඨය වැනි රාජ්‍ය ආයතන රාගම නගරයේ පිහිටා තිබීම මෙම සුවිශේෂීත්වයට හේතු වී ඇත. එසේම ලංකාවේ ප්‍රථම ගුවන් පාලමද රාගම නගරයේ ඉදිවී තිබේ. 

රාගම නගරයේ ඇති මෙම සුවිශේෂී

බව නිසා දෛනිකව රාගම නගරයට පිටස්තර ප්‍රදේශවල සිට දසදහස් ගණන් ජනතාව පැමිණෙති. යාචකයන් කරන අකටයුතුකම් සම්බන්ධයෙන් රාගම පොලිස් පොතේද පැමිණිලි සටහන්ව ඇත. අප මෙම යාචක ගැටලුව සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කරුණු විමසා සිටියේ

රාගම නගරයේ පරිපාලන බලධරයා වන ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාගෙනි.

“රාගම නගරයේ ඇති යාචක ප්‍රශ්නය පිළිබඳව මටත් අවස්ථා ගණනාවකදී වාර්තා වෙලා තියෙනවා. මම රාගම නගරය අලංකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් මුදල් යොදවා ගුවන් පාලම අවට ආවරණ සහිතව මල් හිටෙව්වා. අද මේ මල් වැවූ ස්ථාන යාචකයන්ගේ වැසිකිළි බවට පත් වෙලා. රාගම නගරයේ උදෑසන දර්ශනය මේ නිසා ඉතාම අප්‍රසන්නයි. ඒ වගේම මේ නගරයට දෛනිකව ඇදී එන දසදහස් ගණනක් ජනතාව අතර විශාල පිරිසක් එන්නේ රාගම රෝහලටයි. ඒ එන පිරිස් තම රෝගීන්ට මෙන්ම මෙම යාචකයන්ටත් කෑම ගෙනත් දෙනවා. සමහරවිට ඇතැම් යාචකයන් අත දහවල් වන විට කෑම පාර්සල් 10ක් 12ක් තියෙනවා. මේවා ඒ අයට කන්න බෑ. ඒ නිසා එම කෑම පාර්සල් නගරය පුරා විසි කරනවා. නැත්නම් විකුණා ගන්නවා. නගරයේ විසි කරන කෑම බල්ලන්, කපුටන් වැනි සතුන් නගරය පුරා විසුරුවන්නේ තවත් ගැටලුවක් අපිට දෙමින්. ඒ වගේම ඇතැම් යාචකයන් නගරයේ ගමන් කරන කාන්තාවන්ට ප්‍රදර්ශනය වන විදිහට ලිංගික අවයව නිරාවරණය කරගෙන ඉන්නවා. මෙය විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් මම විවිධ පැතිකඩ තුළින් ක්‍රියාත්මක වෙලා තියනවා. මේ ගැටලුව ගැන මම රාගම පොලිස් ස්ථානාධිපතිවරයා පවා දැනුවත් කරලා තියෙනවා.”

යාචක ගැටලුව පිළිබඳ අප රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගෙන් විමසීමු 

“රාගම පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලා තිබුණා. අප ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වුණා මොවුන්ගේ චර්යාව නිසා මහජන පීඩාවක් ඇති වන බව. මම යාචකයන් බලාගන්න අම්බලන්තොට, රිදීගම අදාළ නිලධාරීන්ට කතා කෙරුවා. නමුත් මේ වනවිට එහි යාචකයන් නතර කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව වාර්තා වුණා. මොවුන් කසිප්පු, මත්ද්‍රව්‍ය භාවිත කරමින් නගරයට ගැටලුවක් ලෙස හැසිරීම නිසා පසුගියදා එවැනි යාචකයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පුනරුත්ථාපනයට යොමු කෙරුවා. අපි මේ යාචක ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.”

රාගම කොට්ඨාසය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වන සමන්ත නිරෝෂන් මහතා

 “රාගම නගරයට යාචක මුදලාලිලා ගෙනත් දාන අය වගේම තවත් විදියකින් නගරයට යාචකයෝ එකතු වෙනවා. රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර අරගෙන ටිකට් කපපු විට ඇතැම් රෝගීන්ගේ භාරකරුවන් රෝගියා ගෙනියන්න එන්නේ නෑ. ඒ අයගෙන් සමහරු රාගම නගරයට එනවා. ඒ ඇවිත් යාචකයෝ බවට පත් වෙනවා. මේ අය යාචකයන් ලෙස දෛනිකව විශාල මුදලක් එකතු කර ගන්නවා. සවස් වෙද්දී කසිප්පු වැනි මත්ද්‍රව්‍ය මේ අයට මුදලට ගෙනත් දෙන අය ඉන්නවා. ඔවුන් ඒවා බීලා ඔවුන් ඔවුන් අතර ගැටුම් ඇති කර ගන්නවා වගේම මහමඟ යන ජනතාවටත් අසභ්‍ය ලෙස බැන වදිමින් ජනතාව පීඩාවට පත් කරනවා. මේ ගැටලුව ගැන මම අවස්ථා ගණනාවකදී ප්‍රාදේශීය සභාවේදී කතා කරලා තියෙනවා”

ජා-ඇළ – ප්‍රසංග පාවුළුහේවා