රට බේරාගන්න සීලරතන හිමි මහ නාහිමිවරුන්ට ආරාධනා කරයි

0
18


කැලණිය _ කුසුම් එස්. හැන්නදි

සෞභාග්‍යයේ දැක්ම අභාග්‍යයේ දැක්ම බවට පත් කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි අයියා – මලෝ එක්වී රටේ සම්පත් වෙන්දේසි කරමින් මේ රට කෑලිවලට කඩා විදේශිකයන්ට  විකුණමින්, ජනතාව සෑම අතකින්ම අසරණභාවයට පත් කර ඇති බැවින් රට බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස ආරාධනා කළ සන්දේශයක් ‘ජනසෙත පෙරමුණේ’  නායක පූජ්‍ය බත්තරමුල්ලේ  සීලරතන හිමිපාණන් විසින් පසුගියදා (25දා) උදෑසන මල්වතු – අස්ගිරි මහ නාහිමිරුන් වෙත භාර දෙන ලදී.

මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ට රටේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරන  සන්දේශය භාර දීමෙන් අනතුරුව මහනුවර වැව රවුමේ උද්ඝෝෂණයක නිරත වූ ‘ජනසෙත පෙරමුණේ’ නායක බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ මෙසේ පැවැසූහ. 

තමන් ඉපදුණු රට, ජීවත් වන රට වැදූ මවු හා සමානව සුරැකිය යුතුයි. මෙතැන ගැටලුව තියෙන්නේ ගෝඨාභය කියන්නෙත් බැසිල් කියන්නෙත් ඇමෙරිකානු පුරවැසියෝ. මේ රට කාලා, විනාශ කරලා ඊට පස්සේ ඔවුන්ට යන්න රටක් තියෙනවා. අද අපි ගෙවන්නෙ ඇමෙරිකන් පුරවැසියන්ට අපේ රට භාරදීපු පාපකර්මයට වන්දියයි. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට ඩොලර් එකක් රුපියල් 75/90 අතරේ තිබුණේ.  අද වෙනකොට  ඩොලර් එක රුපියල් 300යි.

රටේ ජනතාව අද ගෑස්, කිරිපිටි, ඉන්ධන,  භූමිතෙල් පෝලිම්වල කාලය ගෙවන්නේ. මේ පාර සිංහල අවුරුද්ද ජනතාව කනවා මිසක් ජනතාවට අවුරුදු කන්න මඟක් නැහැ. වෙළෙඳපොළට මිල නියාමනයක් ගේන්න මේ රජයට බැරි හිතවත් මහාපරිමාණ ව්‍යාපාරිකයෝ ඔවුන් සමඟ අමනාප වෙන නිසා.  මැති ඇමැතිවරුන් සහ මෙහි ඉන්න 225 දෙනාම ගැත්තෝ. නායකයා ගන්න ඕනෑම තීරණයක් හරි වේවා  වැරැදි වේවා මේ අය තමන්ගේ බලය රැකගන්න කැමැති වෙනවා.

මේ කිසිම කෙනෙක් ඉන්ධන පෝලිමක හෝ වෙනත් කිසිම පෝලිමක ඉන්නවා අපි දැකලා නැහැ. රටේ ජනතාව හැතැප්ම ගණන් පෝලිම්වල කලින් දවසේ රාත්‍රියේ ඉඳලා ඔවුන්  ඉන්නේ. මේ වගේ තත්ත්වයක් උදාකර ගන්නද 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ. එදා ජන්දේ දුන්නු හන්දි ගානේ කිරිබත් උයපු ජනතාවමයි අද ජනාධිපතිට කියන්නේ පුළුවන් කෙනකුට මේ රට භාර දීලා “ගෝඨා ඇමෙරිකාවට ගෝ” කියලා. ඊයේ පෙරේදා මොළ හතේ මුදල් ඇමැති ඉන්දියාවට ගිහින් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ණයට ගෙනාවා. මේ අය කිව්වේ කොන්දේසි  විරහිතවයි දුන්නේ කියලා.

ඒ ගිවිසුම් කිසිවක් ජනතාවට එළි කළේ නෑ. අවුරුදු  පහකට බලයට ඇවිත් වසර 100/200 රට උකස් කරලා ණය ගන්න එක රාජපක්ෂ පරපුරේ කලාවක් වෙලා.  මුදල් ගෙනාවෙ කුමන කොන්දේසියක් මතද කියන්න අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. රට දවසින් දවස විදේශිකයන්ට විකුණන මේ පිරිස රෑ 12ටයි සමහර ගිවිසුම් ගැහුවේ. ඉන්දියාව කාපු ‘අදානි’ සමාගමට ලංකාවේ දූපත් ටික ඔක්කොම ගිවිසුමකින් පවරලා. එදා දිවංගත  සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය ‘කච්චතිව්’ දූපත ලංකාවට අයිති කරගන්න අප්‍රමාණ වෙහෙසක් ගත්තා. අපි එතුමියව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මේ අය බලයට ඇවිත් කරපු එකම දේ  සියලුම නඩුවලින් වටේ හිටපු හෙංචයියන්  ඇතුළු පිරිස නි‍ෙදාස් කොට  නිදහස් කිරීම විතරයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ රට ගෙනියන්න මේ අයියා – මලෝලට බැරි බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ජනතාවගේ දුක කිසිම අයුරකින් මායිම් නොකරන රාජපක්ෂ පරපුර ඔවුන්ට සුපුරුදු සුඛවිහරණ ජීවිතය ගත කරමින් විදෙස් සංචාරවල නිරත වෙමින් සිටිනවා. රටට ආදරය කරන අයකුට රට පවරා දී එදා 2015 මෙන්  ආපසු ඇමෙරිකාවට  යන ලෙස අද ජනතාව  ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවැසූහ. 

“දුක හඳුනන අපි” සංවිධානයේ සභාපති  නිලන්ත විජේසිරි මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.