රට පැනපු මත් ජාවාරමුන් 130ක් අල්ලන්න ජාත්‍යන්තර දැලක්

0
26


කීර්ති මෙන්ඩිස්

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ විවිධ වැරැදි සිදුකොට ශ්‍රී  ලංකාවෙන් පලාගිය පුද්ගලයන් 130 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන…

නිකුත් කර ඇතැයි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් ජේ‍යෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි. 

මෙම පිරිසගෙන් වැඩි දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබයිහි සැඟව ජීවත්වන බව ප්‍රකාශ කරන හෙතෙම ඔවුන් කොටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන ඇති බව සඳහන් කරයි.

මේ අතර ඉකුත් වසර තුළ (2021) මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 95,000ක් පමණ ශ්‍රී  ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් වසරේ මෙම ඒකක මඟින් හෙරොයින් කිලෝ 1630ක්, ගංජා කිලෝ 15,000ක් හා කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝ 377ක් අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම ජනවාරි මාසයේ සිට අද දක්වා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් 800ක් අත්අඩංගුවට ගත් බව කියන ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනවාරියේ සිට මේ දක්වා හෙරොයින් කිලෝ 360ක්, ගංජා කිලෝ 2100ක්, කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝ 18ක් පමණ අල්ලා ගත් බවද සඳහන් කරයි. මේ අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ ක්‍රියාකාරකම් මැඬලීම සඳහා ශ්‍රී  ලංකා පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා රේගු නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම දේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයන් ඔවුන් පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාල මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒ පසුපස හඹායන බවත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් හා දේපළ උපයාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරා ඔවුන්ගේ වත්කම් තහනම් කිරීමට කටයුතු යොදන බවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.