රජරට ගොවියේ රජයට වී නොදෙයි

Date:


අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වනු නෙළන ප්‍රදේශයට පැමිණෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වෙළෙඳුන් නාඩු හා සම්බා වී කිලෝවක් රුපියල් 112 සිට 115 දක්වා මිලකටත් කීරිසම්බා වී කිලෝවක් රුපියල් 135 සිට 140 දක්වා මිලකටත් ගනී. දැනට සතියක වැනි කාලයක සිට වී කිලෝවක් සඳහා ආසන්න වශයෙන් දිනකට රුපියල් දෙක බැගින් වැඩිවීමක් වෙමින් පවතින බව ගොවීහු පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී තොග රැස් කිරීම තැරැව්කරුවන් මාර්ගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ මෝල් හිමියන් විසින් කරන බව පැවසේ. ගොවීන් ඉදිරියේදී වී මිල තවදුරටත් ඉහළ යා හැකි බවද පවසති.

දැනට රජය මඟින් ගොවීන්ගේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය හරහා පමණක් කෙරේ. එහිදී ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 90ක්, සම්බා රුපියල් 92 සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95ක් බැගින් මිලට ගනී. ප්‍රමිතියට නොමැති වී මිලදී ගැනීමටද වී අලෙවි මණ්ඩලය නියෝජිතයන් පත්කර තිබේ. එහිදී නාඩු වී කිලෝවක් රුපියල් 84ක්, සම්බා කිලෝවක් 86ක් හා කීරිසම්බා වී කිලෝවක් 89ක් බැගින්ද මිලදී ගනී. වී අලෙවි මණ්ඩලය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා විසි නවයකදී තවම මිලදී ගෙන ඇත්තේ වී මෙ.ටො. හත්දහස් පන්සියයක  ප්‍රමාණයකි. නිලධාරීන් පවසන්නේ වෙන කන්නවලට සාපේක්‍ෂව ගොවීන් තමන්ගේ වී රජයට ලබාදීමේ විශාල අඩුවක් තිබෙන බවයි.

කුඩා පරිමාණ මෝල් හිමියෝ පවසන්නේ ඉදිරියේදී සහල් මිල වැඩි කිරීමේ අපේක්‍ෂාවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහාපරිමාණ මෝල් හිමියන් තවදුරටත් වී මිල වැඩිකර ඇති බවයි. මහා මෝල් හිමිකරුවන් සමඟ තරග කිරීමට අපහසු නිසා දැනට ඉතිරිව තිබෙන රජරට කුඩා පරිමාණයේ මෝල් කිහිපයද මේ තත්ත්වය මත වැසීයෑමේ අවදානමක් පවතින බවද කුඩා මෝල් හිමියෝ පවසති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 165ත් 170ත් අලෙවි කෙරේ. මෝල් හිමියන් ඉහළ මිලකට වී තොග රැස්කිරීම නිසා පාරිභෝගිකයාට ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් දෙසියයකටත් වඩා වැඩි මිලකට ගැනීමට සිදුවනු ඇතැයිද කුඩා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙක් පැවැසීය.

එප්පාවල – කුමාර දිසානායක

Popular

More like this
Related

මේ ආණ්ඩුවට හවුල්වීම පලක් නැති වැඩක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තවදුරටත් කතා කිරීම යථාර්ථවාදී නොවන...

අනුර නාවාට රනිල් කනගාටුවෙන්

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ නායක අනුර...

ඥානසාර හිමිගේ වාර්තාව නොපිළිගන්නා බව ජනපති කිව්වා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ...

L බෝර්ඩ් ගහගෙන වාහනේ පැද්ද කත දරුවකු යට කරගෙන යයි

කාන්තාවක් ධාවනය කළ "එල්" සංඥා පුවරුවක් සහිත මෝටර් රථයකට...