යාපනයත් අවසන් පූර්ව වටයට එයි

0
25


මෙම තරගයේ කාසියේ වාසිය දිනූ යාපනය පිලේ නායක ධනංජය ද සිල්වා පළමුව ලකුණු රැස්කිරීම සඳහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම පන්දුවාර 99.5කදී සියලුදෙනා දැවී ලකුණු සංඛ්‍යාව 283ක් ලබාගත්තේය. එහිදී දඹුල්ල පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ලසිත් අබේරත්න ලකුණු 68ක්, දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 63ක් රැස්කළ අතර නායක මිනෝද් භානුක ලකුණු 53ක් ලබාගත් අතර, එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 52කට කඩුලු 7ක් දවාගත්තේය. 

පිළිතුරු පළමු ඉනිම දියත් කළ යාපනය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 379ක් රැස්කරගත්තේය. එහිදී නිෂාන් මධුෂ්ක හා ජනිත් ලියනගේ ලකුණු 69 බැගින් ලබාගත් අතර, සමින්ද ප්‍රනාන්දු ලකුණු 52ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී විෂ්ව ප්‍රනාන්දු සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු 4 බැගින් දවාගැනීමට සමත්වූහ.

කෙසේ වෙතත් යාපනය පළමු ඉනිමට වඩා ලකුණු 96ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල පන්දුවාර 59කදී කඩුලු 9කට ලකුණු 256ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. එහිදී අශාන් ප්‍රියන්ජන් ලකුණු 62ක්, මිනෝද් භානුක ලකුණු 48ක්, ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 46ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. යාපනය පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු 3ක් බිඳහෙළුෑ අතර දිලුම් සුධීර, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ජනිත් ලියනගේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. 

ඒ අනුව ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය යාපනය පිල තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වන අවස්ථාව වන විට පන්දුවාර 18කදී කඩුලු 2කට ලකුණු 61ක් ලබා සිටියේය.  

මේ අතර මෙම තරගාවලියේ පැවැති තවත් තරගයකදී ගාල්ල පිල කඩුලු 8කින් පරාජය කිරීමට කොළඹ පිලට හැකියාව ලැබිණි. එහිදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 125ක් ලබා තරගයේ ජය කොළඹ පිලට ගෙන දීමට ප්‍රධාන දායකත්වය සැපයීය.

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 31 වැනිදා හම්බන්තොට සූරියවැව සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී ආරම්භ වීමට නියමිතව ඇත.

ලකුණු සාරාංශය 

දඹුල්ල පළමු ඉනිම _ 283 (ලසිත් අබේරත්න 68, දුෂාන් හේමන්ත නොදැවී 63, මිනෝද් භානුක 53, චමිඳු විජේසිංහ 35, නුවන් ප්‍රදීප් 52/7, ධනංජය ද සිල්වා 35/1, දිලුම් සුධීර 44/1, ජෙෆ්රි වැන්ඩර්සේ 64/1) 

යාපනය පළමු ඉනිම _ 379 (නිෂාන් මධුෂ්ක 69, ජනිත් ලියනගේ 69, සමින්ද ප්‍රනාන්දු 52, අවිෂ්ක තරිඳු 40, දිලුම් සුධීර 32, නවෝද් පරණවිතාන 26, ගීත් කුමාර 26, ධනංජය ද සිල්වා 25, විෂ්ව ප්‍රනාන්දු 66/4, මලින්ද පුෂ්පකුමාර 131/4, මාලිංග අමරසිංහ 12/1, අශාන් ප්‍රියන්ජන් 65/1) 

දඹුල්ල දෙවැනි ඉනිම _ 256/9 (අශාන් ප්‍රියන්ජන් 62, මිනෝද් භානුක 48, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 46, ධනංජය ද සිල්වා 44/3, දිලුම් සුධීර 87/2, ජෙෆ්රි වැන්ඩර්සේ 63/2, ජනිත් ලියනගේ 26/2) 

යාපනය දෙවැනි ඉනිම _ 61/2 (නිෂාන් මධුෂ්ක නොදැවී 32, ධනංජය ද සිල්වා නොදැවී 23, මලින්ද පුෂ්පකුමාර 20/2)