මහ පොළොව අභ්‍යන්තරයේ ජලය අඩුවීම භයානකයි

0
38


ලෝකයේ පුරාම මේ තත්ත්වය පවතින බව ලෝක ජල භූ ජල භූ විද්‍යාඥයෝ හඳුනාගෙන ඇති නිසා මෙවර ලෝක ජල දිනය නම්කොට ඇත්තේ භූගත ජලය විනිවිද භාවයකින් පෙන්නුම් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් ඇති අවශ්‍යතා බවද ඔවුහු අවධාරණය කරති. 

මෙරට පවතින භූගත ජලය හිඟ වීම නිසා අනාගතයේදී ජලය ලබා ගැනීම සඳහාද පෝලිම් යුගයකට ගමන් කිරීම නවතා ගැනීම සඳහා පාසල් දරුවන්ගේ සිට වර්තමාන සියලුම දෙනා අහසින් වැටෙන ජලය අඩුම තරමින් සියයට දහයක් හෝ මහ පොළොව තුළ නැවත ප්‍රතිපෝෂණය කිරීම කළ යුතු බව ජල භූවිද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුබද්ධ භූ ගත ජල අංශයේ වයඹ පළාත් ප්‍රධාන කාර්යාලයේ වාරියපොළ භූගත ජල අංශයට පාසල් දරුවන් කැඳවා මෙහි පවතින අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 25 වැනිදා ආරම්භ කොට තිබිණි.

මෙම අවස්ථාවේදී අහසින් පොළොවට මෙන්ම තම නිවෙස්වල වහල මතට පතිත වන ජලය ඉතා සරල ක්‍රම ඔස්සේ අනාගතය වෙනුවෙන් මහ පොළොව යට ප්‍රතිපෝෂණය කරන අයුරු එම ජල භූවිද්‍යාඥයෝ දරුවන්ට ප්‍රායෝගිකව සිදු කරන ආකාරය කියාදීම කළහ.

මෙම ජාතික වැඩපිළිවෙළ ආරම්භය සමඟ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ භූගත ජල අංශයේ වයඹ පළාත් කළමනාකරු භූවිද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා පැවැසුවේ භූගත ජලය බෙහෙවින් මෙරට අඩුවෙමින් පවතින බවට අත්හදා බලා ඇති බවය.

මේ හේතුව නිසා කඩිනමින් භූගත ජලය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළකට රටේ වර්තමාන ජීවත් වන සියලුදෙනා ගමන් කිරීමේ අවශ්‍යතාවද හෙතෙම සඳහන් කළේය.

මෙවර ලෝක ජල දිනයේ තේමා වෙලා තියෙන්නේ භූගත ජලය එහි නොපෙනෙන පැතිකඩ පෙනීමට සැලසීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වයේ බරපතළකම මෙන්ම ඉවක් බවක් නොමැතිව නළළිං ගැසීම, පරිසර විනාශය රටේ සංවර්ධනයට කර ඇති ඉදිකිරීම්, මාර්ග කාපට් කිරීම, මිදුලට ගල් ඇතිරීම ආදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා මහ පොළොවේ භූගත ජල මට්ටම ඉතා භයානක ආකාරයට පහත වැටෙන ආකාරයත් ඊට මුහුණ දී අවදානම නැති කර ගතයුතු ආකාරයද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජේ‍යෂ්ඨ ජල භූ විද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා මෙසේද පැවැසුවේය.

“වසර ගණනාවක් ඉඳලා අපේ රටට ලැබෙන වර්ෂාපතනය එක හා සමානවයි ලැබිලා තියෙන්නේ. හැබැයි ලැබෙන රටාව විශාල වශයෙන් වෙනස් වෙලා. ලැබෙන වර්ෂාව ඉතා තදින් එකවර පතිත වෙනවාත් සමඟ එම ජලය මහ පොළොවට ජලය උරාගන්නේ නැහැ. ඊට කලින් ඇළ ‍ෙදාළ ගංගා හරහා මහ මුහුදට යනවා. ඒ වගේම තමයි ගංවතුර ගලා ඉක්මනින් වතුර ටික බැහැලා යනවා. කොපමණ ප්‍රමාණයක් වැස්සත් සතියක් දෙකක් පායනකොට මහ පොළොව අභ්‍යන්තරයේ තියෙන ජලය ටික නොමැති බව අපට අත්දැකීමෙන් කියන්න පුළුවන්.” 

ඊට ප්‍රධානතම හේතුව තමයි අපේ අවිධිමත් ඉදිකිරීම්. සංවර්ධන ක්‍රමවේදයන් මෙන්ම මහ පොළොවට වතුර ටික උරා ගන්නට තියෙන මඟ අහුරලා තියෙනවා. මහා විශාල කොන්ක්‍රීට් අතුරන කැටගල් අතුරලා කාපට් දාලා විශාල වහලවල් ඉදිකරලා තියෙන්නේ. ඒ වගේම ඒවාට වැහි පිහිලි සවි කරලා වහලෙට වැටෙන වතුර ටිකත් කානු දිගේ හරවන්න අපි පුරුදු වෙලා. ඒ නිසා මහපොළොව අභ්‍යන්තරයේ අද ජලය අඩු වෙමින් පවතිනවා. ඉදිරියේදී අපි සියලුදෙනා එකතුවෙලා සියයට දහයක් හෝ ජලය මහපොළොවේ තැන්පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැති වුණොත් තව කාලයක් යනටකොට මෙහි ආදීනව අපිට විඳින්න වෙනවා.

ජල හා ජලාපවහන මණ්ඩලය භූගත ජල අංශ අපි මෙම භයානක තත්ත්වය ගැන රටේ පාසල් දරුවන් දැනුවත් කරලා ඒ අය හරහා ගෙවල්වල ඉන්න මවුපියන් වැඩිහිටියන් දැනුවත් කිරීම් තමයි කරගෙන යන්නේ.

අප ඉල්ලීමක් කරනවා රජයෙන්, බලධාරීන්ගෙන් වගේම රටට ආදරය කරන මහජනතාවගෙන් සංවිධානවලින් අඩුම තරමේ ඔබගේ කාර්යාල පරිශ්‍රය, නිවෙස, යුද හමුදා කඳවුර ඒ වගේම කර්මාන්තශාලා, ප්‍රාදේශීය සභා කාර්යාලවල විශාල වහල්වල් ඇති ස්ථාන ඇත්නම් ඒවාට වැටෙන වැහි වතුර ටික මහපොළොවේ තැන්පත් කරන ජාතික වගකීමට එකතු වෙන්න කියලා”

ඒ සඳහා සියලු තාක්ෂණික දැනුම නොමිලේ ලබා දෙනවා. එහෙම වුණොත් ඉදිරියේදී අපිට මහ පොළොවේ විශාල වෙනස්කම් දැක ගන්න පුළුවන් වේවි. අපේ මහ පොළොවේ තෙත් වෙලා ආහාර නිෂ්පාදනයට පවා යෝග්‍ය තත්ත්වයට පත් වේවි. මේය කල් දම දමා සිටියහොත් සිද්ධවෙන්නේ අතීතයේ අපි අතින් වූ විවිධ අඩුපාඩු නිසා අද ජනතාව පීඩනයට පත් වෙනවා හා සමාන සිද්ධියක්. අපිට පුළුවන් විදිහේ ජනතාව දැනුවත් කිරීම් කරගෙන යනවා. ඒ නිසා තමයි අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ බරපතළ තත්ත්වය හඳුනා ගන්න කියලා.”

මේ දැනුවත් කිරීම සඳහා ජල භූවිදයාඥයෝ වන දිනුක සේනානායක, එච්.එම්.ජේ. හේරත් යන මහත්වරුද එක්ව සිටියහ. 

දඹුල්ල – කේ.කේ. ආරියදාස