මත්ද්‍රව්‍ය පැකට් කර අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

0
43


ලුණුවිල – රෝස් කොලින්

හෙරොයින් හා ගංජා පැකට්වල අසුරා වෙන්නප්පුව නගරයේ අලෙවි කරමින් සිටි පුද්ගලයකු හෙරොයින් හා ගංජා තොගයක්ද සමඟ වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

දිගුකලක සිට මොහු මෙම කටයුතුවල නිරත වූවකු බව ඔහු පිළිගෙන තිබේ. දුරබැහැර ප්‍රදේශවලින් හෙරොයින් හා ගංජා නිවෙසට ප්‍රවාහනය කරගෙන ඒවා ඉතාමත් රහසිගතව කුඩා පැකට්වල අසුරා දුරකථන ඇමතුම්දී ගැනුම්කරුවන් ගෙන්වාගෙන බෙදා හැරීම් කර තිබේ.

සැකකරු කොස්වත්ත පොලිස් වසමට අයත් කිරිමැටියාන වැරැල්ලවත්ත 38 හැවිරිදි තරුණයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ගංජා කිලෝ 01ක් හා හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක ප්‍රමාණයක් තිබී ඇත.

මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා සැකකරු දින 14ක් පොලිසියේ රඳවා තබා ගෙන වැඩිදුර කරුණු විමසීමට පොලිසියට බලය පවරා තිබේ.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා සහ හදිසි වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද ගුණසේන යන අය වැටලීම කර තිබේ.