“මගේ ජීවිතේ නැති වුණාට කමක් නෑ මල්ලිගේ ජීවිතයවත් බේරාදෙන්න”

0
24


කෙටි කලකින් ජීවිතය අහිමිවීමේ අවදානමකට ලක්වී සිටියදී එම ඉරණමටම මුහුණ දෙමින් සිටි එක්කුස උපන් සිය සොහොයුරාගේ ජීවිතය බේරාදෙන්නැයි ආයාචනා කරන සොහොයුරකු පිළිබඳ අනුවේදනීය පුවතක් ඉබ්බාගමුව, උඩතම්මිට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී සිටින්නේ 19 හැවිරිදි ආර්.ඒ. හර්ෂණ නුවන් සහ 24 හැවිරිදි ආර්.ඒ. ඉසුරු දුලංජන යන දෙසොහොයුරන්ය. මෙම දරුවන් උපතින්ම මහ තැලසීමියා රෝගීන් වන අතර ඔවුහු වසර විසිහතරක් තිස්සේ ඊට ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම දරුවන්ගේ මවුපියන්ද මුහුණදෙමින් සිටින්නේ ඒ හා සමානම දුක්ඛිත ඉරණමකටය. දරුවන්ගේ පියා වන ආර්.ඒ. ටිකිරි බණ්ඩා මහතා ග්‍රාම නිලධාරියකු ලෙස සේවය කරන අතර මව වන ඩබ්ලිව්.එම්. නවරත්න මැණිකේ මහත්මිය සමුපකාර සේවිකාවක ලෙස රැකියාව කරයි. ඔවුන් සිය ජීවිත කාලය තුළදී  ඉපැයූ හැම රුපියලක්ම වැය කර ඇත්තේ දරුවන් සුවකර ගැනීමේ බලාපොරොත්තුව සහ ඔවුන්ට ප්‍රතිකාර වෙනුවෙනි. උපයන මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවූ කල, සියලු සේසත විකුණා මුදල් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අද වනවිට ඉතිරිව ඇත්තේ වැටී සිටීමට හැකි තරමේ කුඩා පැල්පතක් පමණි. 

මෙම දරුවන්ගේ මව වන ඩබ්ලිව්. එම්. නවරත්න මැණිකේ මහත්මිය සිය ජීවිත කාලය තුළ විඳි අපමණ ගැහැට පිළිබඳව හැඬ­ූ ක¾දුළින් යුතුව මෙසේ කීවාය. 

“සති තුනකට වතාවක් ළමයි කුරුණෑගල  ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් ලේ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතාම අසීරු වැඩක්. ඒ වගේම හරිම වේදනාත්මක දෙයක්. ඒ විදිහට පිටින් ලේ ලබාදෙන නිසා ශරීරයේ ගොඩගැහෙන යකඩ දිය කරන්න ඩෙස්ෆෙරාල් කියලා තවත්  ඔෟෂධයක් දෙනවා. ඒ බෙහෙත ඇඟට යන්න පැය දහයකට වැඩි කාලයක් යනවා.  හවස ඉඳලා පහුවැනිදා එළිවෙනකම්ම ඇඟට සම්බන්ධ කරන මැෂින් එකක් මාර්ගයෙන් තමයි ළමයින්ට ඒ බෙහෙත දෙන්නේ. මුළු ජීවිත කාලෙම ඒ වගේ දුෂ්කරතා විඳගෙනත් දරුවෝ දෙන්නා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවා. අපේ ප්‍රාර්ථනාව,  අපේ බලාපොරොත්තුව, අපේ එකම හීනය මේ දරුවෝ දෙන්නා තමයි.”

“අවුරුදු 24ක් පුරා අපි හම්බකරපු හැම සතයක්ම වියදම් කළේ දරුවෝ දෙන්නාගේ අසනීපය සුවකර ගන්නයි. මහත්තයයි, මමයි දෙන්නාම රස්සා කරන අය වුණත් අදටත් අපිට ඉන්න හිටින්න තැනක් හරියට නෑ. ගෙවල් ‍ෙදාරවල් හදනවාට වඩා අපි උත්සාහ කළේ දරුවෝ සනීප කරගන්න.  ඉතාම දුක්බර ජීවිතයක් අපි ගෙවන්නේ. ඇටමිදුලු බද්ධකිරීමේ සැත්කමකින් තමයි මගේ දරුවෝ තවදුරටත් ජීවත් කරවන්න පුළුවන් වෙන්නේ. ඒ සැත්කම කරන්නයි, ඊට පස්සේ කරන්න තියෙන ප්‍රතිකාරවලටයි රුපියල් කෝටි තුනහමාරක වගේ ලොකු වියදමක් යනවා. දරුවෝ දෙන්නගේ අසනීපයත් එක්ක මුළු ජීවිත කාලෙම ඔට්ටු වෙච්ච අපි දෙන්නට ඒ වගේ මුදලක් හොයාගන්න අමාරුයි. 

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින හර්ෂණ නුවන් පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටි දීප්තිමත් සිසුවෙකි. 2012 ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වන හර්ෂණ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළුවීමේ වරම හිමිකරගන්නේ උඩතම්මිට කනිෂ්ඨ විද්‍යාලයේ වැඩිම ශිෂ්‍යත්ව ලකුණුලාභියා ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද හර්ෂණ විශිෂ්ට ජයක් ලබන්නේ තැලිසීමියා රෝගය විසින් ඔහු වෙත ගෙනා අනේක විඳ පීඩාවන්ද විඳ දරා ගනිමිනි. හර්ෂණගේ ඇටමිදුලු බද්ධකිරීමේ සැත්කම මෙරට පෞද්ගලික රෝහලකදී කිරීමේ හැකියාවක් ඇතත් ඔහුගේ සොහොයුරා වන ඉසුරු දුලංජනට ඒ අවස්ථාව ලැබී නැත. වැඩි වයස ගැටලුව මත ඔහුට එම සැත්කම කිරීමට පහසුකම් ඇත්තේ ඉන්දියාවේ, බැංගලෝරයේ පිහිටි පෞද්ගලික රෝහලකදීය. උපේක්ෂා සහගත හැඟීමකින් යුතුව අදහස් දැක්වූ ඉසුරු දුලංජන මෙසේ පැවැසීය. 

“එන්නත් කටුවලට මල්ලිගෙයි, මගෙයි ශරීරවල සිදුරුවෙච්ච තැනක් නැති තරම්. අපි හැමදාම නිදාගන්න යන්නේ ඩෙස්ෆෙරාල් එකක් ඇඟට හයි කරගෙන. ඒ බෙහෙත් එක ඉවර වෙන්න පැය දහයකට වැඩි කාලයක් යනවා. සමහර දවස්වල නින්දේදී එන්නත් කටු කැරකිලා හම ඉරුණු අවස්ථා පවා තියෙනවා. ඒ වගේ වේදනා විඳගෙන තමයි අපිට ඉස්කෝලේ යන්න, පාඩම් කරන්න වෙලා තියෙන්නේ. මෙතැනින් එහාට අපිට ජීවත්වෙන්න ඕනෑ නම් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම කරන්න වෙනවා. අපේ වයස වැඩි වෙන්න, වැඩි වෙන්න අපිට එන අතුරු ආබාධත් වැඩි වෙනවා. ඒ නිසා මේ සැත්කම කළොත් විතරයි අපිට ඉදිරි අනාගතයක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ. 

මගේ අම්මයි, අප්පච්චියි මුළු ජීවිත කාලෙම මහන්සි වුණේ අපි දෙන්නාව සනීප කරගන්න. අද අපි වැටිලා ඉන්න තැන ඇරෙන්න අම්මටයි, අප්පච්චිටයි තිබුණු හැමදෙයක්ම විකුණ විකුණා අපිට බෙහෙත් කළා. එහෙම කරලත් දැන් අපි දෙන්නගෙම ජීවිත අවදානමකට ලක්වෙලා තියෙනවා. අම්මයි, අප්පච්චියි දැන් වයසයි. එයාලා වෙනුවෙන් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ජීවත්වෙන්න ඕනෑ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මල්ලිගෙයි මගෙයි සැත්කම්වලට රුපියල් කෝටි තුනහමාරක් විතර යනවා. මගේ දුප්පත් මවුපියන්ට එච්චර ලොකු මුදලක් හොයාගන්න බැහැ. ඒ නිසා මගේ ජීවිතේ නැති වුණාට කමක් නැහැ. මල්ලිගේ ජීවිතේ බේරාගන්න උදවු කරන්න කියලා තමයි මම හැමෝගෙන්ම  ඉල්ලන්නේ.” 

මෙම තරුණ දරුවන් මුහුණදී සිටින අවාසනාවන්ත ඉරණම වෙනස්කිරීම වෙනුවෙන් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස වත්මනෙහි කටයුතු කරමින් සිටින වසන්තා වර්ණකුලසූරිය මහත්මිය දැඩි උත්සාහයක් ගනිමින් සිටින්නීය. සිය රාජකාරිමය සහ පෞද්ගලික සබඳතා හරහා යම් පරිත්‍යාශීලීන් පිරිසක් එකතු කරගනිමින් මෙම දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කරදීමට ඇයට හැකියාවක් ලැබී තිබේ. “මව්බිම” ට අදහස් දැක්වූ වර්ණකුලසූරිය මහත්මිය මෙසේ කීවාය. 

“මේ පවුල ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතාම කනගාටුදායක සිදුවීමකට මුහුණ දීපු පවුල් ඒකකයක්. ඒ අයගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ජනාධිපති අරමුදල සහ ප්‍රධාන අමාත්‍ය අරමුදල වගේ ක්‍රමවේද හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කළ හැකි උදවු අපි ලබා දෙමින් සිටිනවා. මෙතැන තවත් විශේෂත්වයක් තියෙනවා. මේ දරුවන්ගේ පියා මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීයෙක්. මේ නිසා රාජ්‍ය අනුග්‍රහයෙන් ලබාදෙන සේවාවට අමතරව කණ්ඩායමක් විදිහට කාර්ය මණ්ඩලයත්  එකතු කරගෙන උදවු කරන්නට අපි කටයුතු කරනවා. විවිධ ආයතන සහ පුද්ගලයන් එකතු කරගෙන මේ මුදල එකතු කරගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. මෙතැන තියෙන්නේ තරුණ දරුවෝ දෙන්නෙක්ගේ ජීවිත. ළමයි කියන්නේ රටේ අනාගතය. ඒ නිසා මව, පියා කවුරු වුණත් මේක අපේ වගකීමක් සහ යුතුකමක් කියලා හිතලා අපි කටයුතු කරනවා. ඒ නිසා අපිට උදවු උපකාර කරන්න පුළුවන් සහ කැමැත්තෙන් ඉන්න අයව සම්බන්ධ කිරීමට “මව්බිම” පුවත්පතට හැකි වේ යැයි මා විශ්වාස කරනවා” 

මෙම දරුවන්ගේ පියා වන ආර්. ඒ. ටිකිරි බණ්ඩා මහතා 0721113397 යන ජංගම දුරකථන අංකයෙන් සම්බන්ධ කරගත හැකි අතර ලංකා බැංකුවේ 88083426 සහ කොමර්ෂල් බැංකුවේ 8012617780 යන ගිණුම් මෙම දරුවන්ගේ ආධාර උපකාර වෙනුවෙන් විවෘතව පවතී. 

කුරුණෑගල – විජේසිංහ වැලිකන්ද