බැසිල්ගේ මල්වාන නඩුවේ සාක්කි අවසන්

0
20


මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල

පැමිණිල්ල විසින් කැඳවන ලද පළමුවැනි සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බවත් ලබාදී ඇති ප්‍රකාශයේ අස්සන පිළිගත නොහැකි බවත්  සාක්ෂි දෙමින් පවසා සිටින හෙයින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනාට විරුද්ධව ඇති නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් නොකරන බව  රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල්  කුලරත්න මහතා මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.

‍ෙදාම්පේ, මල්වාන – මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි  සුවිසල් නිවෙසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත  වත්මන්  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනාට විරුද්ධව නීතිපති විසින් අධි චෝදනා ගොනු කර ඇති නඩුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ ගම්පහ මහාධිකරණයේදී 25දා විභාගයට ගැනිණි. බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනාද මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර සාක්ෂිකරුවන් හත්දෙනකු මහාධිකරණය මඟින්  නිකුත් කරන ලද සිතාසිවලට අදාළව මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

රජයේ අධිනීතිඥ  ඔස්වල්ඩ්  පෙරේරා සහ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න යන මහත්වරුන්ගේ  පැමිණිල්ල මෙහෙයවීම මත මෙම නඩුවේ පළමුවැනි සාක්ෂිකරු වූ උපුල් කුමාර රාමවික්‍රම පළමුවෙන්ම සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවැසීය.

“මල්වානේ ඉඩමේ නිවෙස හදපු බව මා පිළිගන්නවා. ගොඩනැඟිලි ඉදිකිරීමට අදාළ තොරතුරු මා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දුන්නා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙම නඩුවට අදාළව  මා පැමිණිල්ලක් කළේ නෑ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මගෙන්   ප්‍රකාශයක් ලබා ගත්තා. ගේ හැදුවේ මමද කියලා ඇහුවා. මම ඔව් කිව්වා. එම ඉදිකිරීමට අදාළව මට මිලියන 30ක් මුදිත ජයකොඩිගෙන් ලබා ගැනීමට නියමිතව තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිව්වා මට ඒ මුදල් ආපසු අරන් දෙන්නම් කියා. ඊට අදාළව මගෙන්  ප්‍රකාශයක් ලබා ගත්තා. මෙම නඩුවට අදාළව මම එෆ්.සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කළේ නැහැ.” (සාක්ෂිකරු ලබා දුන් ප්‍රකාශය පෙන්වයි)

“මෙපමණ දිග ප්‍රකාශයකට මා අස්සන් කළේ නෑ. මා විසින් ලබා දුන්නේ කෙටි ප්‍රකාශයක්. එම ප්‍රකාශය මොනවා තිබුණද මම දන්නෙත් නැහැ. මට එය කියවන්න දුන්නේ නැහැ. මගෙන් අස්සන් ගත්තා. මෙම ප්‍රකාශයේ තිබෙන අස්සන මා පිළිගන්නේ නෑ.” මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සාක්ෂිකරු මෙම නඩුවට අදාළව  පැමිණිල්ලක් සිදුකර නොමැති බවත් ලබාදී ඇති ප්‍රකාශයේ අස්සන  පිළිනොගන්නා බවත් පවසා සිටින හෙයින් මින් ඉදිරියේදී මෙම නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවත් පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහාධිකරණය හමුවේ පැවැසීය.

ඉන් අනතුරුව සිතාසි මත  මහාධිකරණය හමුවේ පෙනීසිටි සාක්ෂිකරුවන් මහාධිකරණය මඟින් මුදාහරිනු ලැබූහ.

පැමිණිල්ල විසින් නඩුව අවසන් කර ඇති හෙයින් තම සේවාදායකයන්  චෝදනාවලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව එම ඉල්ලීමට අදාළ තීන්දුව මැයි මසට කල් තැබිණි.

නීතිඥ තිස්ස ගුණවර්ධන මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ ඩී.ඒ.පී. වීරත්න, නවීන් මාරපන සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥ මහත්වරු බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ කණ්ඩායමක් සමඟ තිරුකුමාරන් නඩේසන් වෙනුවෙන්ද මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව මැයි මස 13 දිනට කල් තැබිණි.