බඳින්න කලින් හිටපු කෙනාද දැන් මේ ඉන්නේ?

0
54

සාර්ථක පවුල් ජීවිතයක් යනු විවාහ වන සියලුදෙනාගේම සිහිනයකි. ඔබ දැනටමත් පවුල් ජීවිතයක හිමිකරුවකු හෝ හිමිකාරියක වන්නටද පුළුවන්. එසේත් නැතිනම් විවාහ වී සාර්ථක පවුල් ජිවිතයක් ගත කිරීමට අපේක්ෂා කරනවා වන්නට පුළුවන්. සාර්ථක පවුල් ජීවිතයකට අවශ්‍ය ප්‍රධාන සාධක තිබෙන අතර එයින් ප්‍රධාන වන්නේ සන්නිවේදනය, අවබෝධය සහ කැප කිරීමයි. මෙම සාධක ත්‍රිත්වය සපුරාගැනීමට විවාහ වූ යුවළකට නොහැකි වූ පසු එම බැඳීම ගිලිහී යයි. පසුව කාලයාගේ ඇවෑමෙන් විවාහක යුවළ දික්කසාද වීමට තීරණය කිරීම හෝ අධික මානසික පීඩනයන්ට පත්වනු ලබයි. අවසානයේ දෙපළටම සිදුවන්නේ අධිකරණයේ පිහිට පැතීමට හෝ උපදේශන සඳහා යොමු වීමටයි.

ශ්‍රී  ලංකාව තුළ විවාහය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සිදුවෙයි. එයින් එක් කාණ්ඩයක් වන්නේ නව යොවුන් විය සමඟ සිදුවන විවාහයයි. එනම් අවුරුදු 18 සිට අවුරුදු 22 දක්වා සිදුවන විවාහයන්ය. ප්‍රේම සබඳතාවකින් විවාහ වන මොවුන්ට ජීවිතය පිළිබඳ අවබෝධය අවමය. අඩු අධ්‍යාපනයක් ලබා ඉක්මනින්ම විවාහ ජීවිතයට ඇතුළත් වන මෙම පිරිස විශ්වාස කරනු ලබන්නේ ආදරයක් තිබූ පමණින්ම විවාහ ජීවිතයක් පවත්වාගෙන යාහැකි බවයි. මූලික අවශ්‍යතා එනම් රැකියා, අධ්‍යාපනය, නිවාස, වාහන ආදී කිසිවක් පිළිබඳව අවධානයක් නොදී විවාහය යන සංකල්පය මූලික කරගෙන විවාහ වනු ලබන අතර මෙම විවාහයන්වලදී සියයට අනූවකටත් වැඩි පිරිසක් දෙදෙනා ආදරය කර තේරුම් ගනිමින් විවාහ වූවන් වෙයි. ආදරය නිසා ඕනෑම ප්‍රශ්නයක් දරා ගත හැකියි යන  මතයද ඔවුන් තුළ පවතියි. නමුත් විවාහ වී වසරක් පමණ යනවිට මෙම විවාහයන් සියල්ල දෙදරා යෑමට පටන් ගනියි. එයට හේතුව වන්නේ කලක් ගතවන විට පැමිණෙන ආර්ථික ප්‍රශ්න සහ දරුවෙක් බිහි වීම වැනි විවිධ ගැටලුයි. ආදරය තිබුණත් දෙදෙනා අතර තිබිය යුතු මූලික දේවල් නොතිබෙන නිසා ඇතිවන ප්‍රශ්න මඟින් අවසානයේ අධිකරණය දක්වා යෑමට ඔවුනට සිදුවෙයි. 

දෙවැනි කාණ්ඩය වන්නේ අවුරුදු විසිපහ ඉක්ම වූ පිරිසයි. ඔවුන් මතුවන ගැටලු ලෙස දරුවන් නොමැති වීම, ලිංගික ගැටලු හැඳින්විය හැකිය. නැතිනම් ඔහු හෝ ඇයට වයස ප්‍රමාණය ඉක්මවා යෑම පිළිබඳ ගැටලුව නිසා විවාහ වීමට සහකාරයෙක් හෝ සහකාරියක් නොමැති වීමට පුළුවන්.

එමෙන්ම තවත් මතුවන ගැටලුවක් නම් බොහෝ විට දෙදෙනකු විවාහ වන විට දෙදෙනාම රැකියාවන්වල නියුතු දෙදෙනකු නම් පවුල් තුළ ප්‍රශ්නයක් කතා කිරීමට කාලයක් ඔවුනට නැති වීමයි. එසේත් නැතිනම් ස්වාමියා පමණක් රැකියාවක නියුතු කාර්යබහුල කෙනෙකු නම් එයද බිරියට ප්‍රශ්නයකි. එහිදී බිරිය අනියම් සබඳතාවලට යෑමේ ප්‍රතිශතය වැඩිය. ඇතැම් අවස්ථාවල පවුලට ඉතාමත්ම දුෂ්කර කාලපරිච්ජේද පැමිණියත් ඔබ පවුල වෙනුවෙන් බිරිය හෝ සැමියා ලෙස මූලිකත්වයෙන් සිටින්න. විවාහ ජීවිතයක් දෙදරා යෑමට බලපාන අනෙක් සාධකය වන්නේ සැක සහිත බවයි. පළමුවෙන්ම ඔබ එයින් මිදෙන්න. කිසිම විටෙක කිසිම හේතුවක් මත ඇයව හෝ ඔහුව සැක කිරීමෙන් වළකින්න. ඔබට යම් සැකයක් ඇතිවුවහොත් අනෙකාට එය නොපෙන්වා සිටීමට වගබලා ගන්න.

යහපත් ලිංගික ජීවිතයක් පවත්වා ගැනීමද යුග දිවියට අත්‍යවශ්‍යම සාධකයකි. ඇය හෝ ඔහු ඒ පිළිබඳ ඔබ සමඟ කතා නොකළත් ඇයට හෝ ඔහුට එය අවශ්‍යම දෙයක් වන්නට පුළුවන්. එම නිසා අනෙකාගේ ලිංගික ආශාවන් පිළිබඳ කතාබහ කර අනෙක් සගයාගේ සිතුම් පැතුම්වලට ගරු කිරීමද ඉතා වැදගත්ය.

සහකරුවාට හෝ සහකාරියට සෑම විටම ගෞරව කරන්න. සුහද වචනවලින් කතා කරන්න. බොහෝ විට එකිනෙකා ආදරයෙන් කතා කිරීමද යහපත් පවුල් ජීවිතයකට මහත් උපකාරයක් වන අතර ආදරය කළ දිනවල මෙන් ආදරයෙන් ළෙන්ගතුව කතා කිරීමට හැකි නම් නිරතුරුවම විවාහ ජීවිතයේ ආදරය  රැඳේවි. ඔහුට හෝ ඇයට හැකි සෑමවිටම පුංචි තෑග්ගක් ලබාදී සතුටු කරන්න. ආදරය කරන කාලයට වඩා විවාහ ජීවිතයක් ගත කරන කාලය අතරතුර එවැනි පුංචි ත්‍යාගයක් ඇයට හෝ ඔහුට ලබාදීම මඟින් ආදරය තවත් වැඩිවේ.

ගෙදර – ‍ෙදාර වැඩකටයුතු දෙදෙනාම සහයෝගයකින් මනා පාලනයකින් යුතුව කරන්න. දෙදෙනාම එයට දායක වන්න. ගෙදර ‍ෙදාර වැඩ කටයුතු කාන්තාවටම භාර නොදී දෙදෙනාම එකතු වී සිදුකරනවා නම් දෙදෙනා අතරම සමඟිය, අනෝන්‍ය සම්බන්ධය නිරන්තරයෙන්ම ගොඩනැඟේ.

මෙම කරුණු විවාහයක් තුළ නොතිබේ නම්  එහිදී අනිවාර්යයෙන්ම විවාහ ජීවිතය දෙදරා යනවා සේම දික්කසාද වීම් පවා වැඩිවේ. මෙහිදී වැදගත් වන්නේ තේරුම් ගැනීමයි. විවාහය යනු දෙදෙනාම එකතුවී යන දිගු කාලීන චාරිකාවකි. ලංකාව තුළ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට නම් දෙදෙනාම තනි ස්ථානයක ජීවත් විය යුතුය. 

මුලින්ම මතුවන ගැටලු විස¼දා නොගැනීමෙන් අවසානයේදී මනෝ උපදේශනවලට පවා යොමුවීම වර්තමානයේ බහුලවම දකින්නට ලැබෙන සිදුවීමකි. එය නිරාකරණය කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ  එකිනෙකා කතා කර ගැටලු විස¼දා ගැනීමයි. මෙහිදී අනෝන්‍ය සම්බන්ධය ඉතා වැදගත් වේ. 

විවාහ ජීවිතයේ ගැටලු පැන නඟින විට බොහෝ අය තවත් කෙනකුට තම මානසික සුවය සඳහා පවසන්නේ එයාව නෙවෙයි මම බඳින්න සිටියේ යනුවෙනි. එය සිතට  එක්කර ගන්නා තාවකාලික විසඳුමක් වන අතර අතීතය තුළ සිදුවුණු සිදුවීම් ඇති වී තිබෙන ගැටලුවලට විසඳුමක් නොවේ. 

දෙදෙනා අතර තිබෙන ගැටලු අන් අයට නොපවසා සිටීම වැදගත් වේ. වර්තමාන මාධ්‍ය සහ ටෙලි නාට්‍ය පවුල් ජීවිත දෙදරා යෑමට තවත් ප්‍රධාන හේතුවකි. බොහෝ දෙනෙකු ටෙලි නාට්‍ය තුළ තිබෙන සිදුවීම් තම සැමියාගෙන් හෝ බිරියගෙන් බලාපොරොත්තු වෙයි. 

සැමියා හෝ බිරිය අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටිම පවුල තුළ ගැටලු ඇතිවීමට බලපාන තවත් එක් සාධකයකි. 

එම නිසා බිරියට හෝ සැමියාට ලබා දිය යුතු කාලය ලබාදෙන්න. අනාගතය පිළිබඳ ඔබ දකින සොඳුරු සිහිනය සහකරු හෝ සහකාරිය සමඟ කතා කරන්න. අනාගතය ගැන ඔබ දකින සිහිනය අනෙකාට කියන්න. එවිට එය දෙදෙනාගේම සිහිනයක් වනු ඇත. එසේම ඔබ දෙපළ තුළ විශ්වාසයද වර්ධනය වනු ඇත. එවිට දෙදෙනාට දෙදෙනාවම එපා නොවී සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ හැකිය.

සචිනි බස්නායක