බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙක් ස්වාධීන වෙයි

0
22


බද්දේගම – ඕ. කමලනාථ

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පාලන බලය හිමි ශ්‍රී ල.පො.ජ.පෙ. මන්ත්‍රි ගයාන් සමීර හතරසිංහ මහතා මින් ඉදිරියට බද්දේගම ප්‍රාදේශීය සභාවේ පාලක පක්‍ෂයට සහාය නොදෙන බව සඳහන් කරයි. ඉදිරි කාලයේදී ස්වාධීන මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කරන බවත්, ජනතාවාදී යෝජනා ඉදිරිපත් කරන ඕනෑම පාර්ශ්වයකට තම සහාය ලබාදෙන බවද සඳහන් කරයි. බද්දේගම නගරයේදී 25දා සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මම දේශපාලනයට ආවේ ජනතාවට සේවයක් කරන්න. මේ වන විට ගමට යා නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා. බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව මට පැහැදීමක් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි අර්බුදය ඇතුළු ගැටලුවලින් ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටින අවස්ථාවක දේශපාලන පක්‍ෂයක් බදාගෙන ඉන්න බැහැ. ජනතාව වෙනුවෙන් තීරණ ගත යුතුයි.

රටට යහපත්, පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ඕනෑම පාර්ශ්වයකට සහයෝගය දෙනවා. පාලක පක්‍ෂයට සහාය දීමෙන් ඉවත්වීමත් සමඟ ජනතාවගේ යහපත් ප්‍රතිචාර තිබෙනවා. මා මේ තීරණය ගත්තේ ජනතාවගේ ඉල්ලීමට. මීළඟ සභාවාරයේදී තවත් මන්ත්‍රිවරු කිහිපදෙනකු ඉවත්වීමට සූදානමින් සිටිනවා යැයිද කීවේය. කෙසේ නමුත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වීමට තමා අදහස් කර නැතැයිද හෙතෙම කීවේය.

ගයාන් සමීර හතරසිංහ මහතා බද්දේගම, පහළකීඹිය කොට්ඨාසයේ වැඩි ඡන්දයෙන් ජයගෙන බද්දේගම ප්‍රාදේශීය සභාවට මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයෙකි.