පුංචි ඡන්දයට විකල්ප ක්‍රමයක්

0
71


මිශ්‍ර සාමාජික ඡන්ද MMV ක්‍රමය යටතේ  යෝජිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව සඳහන් කරමින් මෑතදී පළ වූ පුවත්පත් වාර්තාවට අපේ අවධානය යොමු විය.

 මෙහිලා ආරම්භයේදීම අවධාරණය කළ යුතු කරුණක් වන්නේ පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණය (2018) සමඟ අත්හදා බැලූ MMV ක්‍රමයට අත්වූ ඉරණමයි. මැතිවරණ ප්‍රතිඵල සැකසීමේදී මතුවූ  අති විශාල ‘ඕවර්හැන්ග්’  (Over-hang) ගැටලු නිසා පළාත් පාලන ආයතනවල මුළු සභික සංඛ්‍යාවේ විස්මය දනවන නාස්තිකාර වැඩිවීමක් (තුන් ගුණයකට ආසන්න) ඇති  කරමින් මැතිවරණ නිලධාරීන්ට අපේක්ෂා නොකළ සංකීර්ණතා හා  ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවී  ‘Hang-over’ තත්ත්වයක්ද ඇති විය. මෙහිදී සාම්ප්‍රදායික වෙස්ට්මිනිස්ටර් පන්නයට අයත් ‘First-Past-the post’ (FPP) ක්‍රමයේ ප්‍රවර්ධකයන් සතුටු කිරීම සඳහා වඩාත් විද්‍යාත්මක ‘සමානුපාතික නියෝජන (PR) ක්‍රමය අභිභවා යෑමට සංකීර්ණ, ආනයනික MMV ක්‍රමය” යොදාගත්  බව පැහැදිලිය. මෙහිලා  මතුවන  විසංවාදී  කාරණය  නම් හ¾දුනාගත් භූගෝලීය ඒකක නියෝජනය කිරීම සඳහා FPP  සහ PR ක්‍රමවල  60: 40 මිශ්‍රයක් යොදා ගැනීමය. එම මිශ්‍රයෙහි ඇති පාරිශුද්ධත්වය කුමක්ද? එයට  විද්‍යාත්මක පදනමක් ඉදිරිපත් කර නොමැති බැවින් කෙනකුට 55:45 හෝ 65:35 මිශ්‍රයක් සඳහා තර්ක කළ හැකිය. එපමණක් නොව, 25% කාන්තා සහභාගිත්වය සහතික කිරීමටද නොහැකි වූ බැවින් සමස්තයක් ලෙස MMV ක්‍රමය අසාර්ථක වී  ඇත.  

එම කරුණු පසෙක තිබියදී, ස්වෛරී ඡන්දදායකයා දැනට අත්දකින අතිශයින් කනගාටුදායක සහ අවාසනාවන්ත කාරණය නම් අපගේ සර්වජන ඡන්ද ක්‍රමය ආරම්භ වී   වසර 74ක් ගත වී ඇතත් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක ප්‍රාථමික අරමුණු වන ඡන්ද සමානාත්මතාව සහ ජනතා නියෝජිතයන්ගේ ගුණාත්මකභාවය  සහතික කරලීමට අද වනතෙක්  එය අපොහොසත් වීමයි. එම මූලික සිද්ධාන්තය හා අවශ්‍යතාව  පසෙක තබා ‘ප්‍රචාරණ කටයුතු මූල්‍යකරණය’ සඳහා සීමාවන් පැනවීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ තරුණියන්ට ක්ෂණික ඡන්ද අයිතිය සහ විදේශයන්හි ජීවත් වන අය සඳහා ඡන්ද අයිතිය  සහතික කිරීම, අත්‍යවශ්‍ය සේවාවල නිරත වන  ඡන්දදායකයන් සඳහා ‘පෙර ඡන්ද මධ්‍යස්ථාන’ පිහිටුවීම වැනි ද්විතීයික කාරණාවලට  බලධාරීන්  සහ ඡන්දදායකයන් වෙනුවෙන්  කැපවූ සංවිධාන විසින් ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීම ජනතාවට ප්‍රහේලිකාවකි. මන්දයත්, දැනටමත් ලියාපදිංචි වී  සිටින  මිලියන 16.3 ඉක්මවන ඡන්දදායකයන් නැවත තම ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට පෙර නිදහසේ තේරුම් ගත හැකි සරල, තාර්කික, විනිවිද පෙනෙන සහ අඩු වියදම් මැතිවරණ ක්‍රියාවලියක්/යාන්ත්‍රණයක් නොමැතිව  අපේක්ෂාභංගත්වයෙන්  පසු වන බැවිනි. මෙහිදී ජේ‍යෂ්ඨ පුරවැසියකු වූ  මම  පසුගිය වසර 57 පුරා  ඡන්ද අයිතිය භාවිත කර ඇති නිසා ‘දේශපාලනීකරණයෙන් තොර’ පළාත් පාලන යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටියත් දැනට ප්‍රකාශ වී ඇති හදිසි අවශ්‍යතාව නිසා යම් අස්වැසිල්ලක් හෝ ලබාගැනීමේ රිසියෙන් අපගේ සරල ඡන්දදායකයන් ‘ටිරොකට් විද්‍යාව’ක් වන්වූ සංකීර්ණ හා අධික පිරිවැයක් සහිත  MMV ක්‍රමය වෙනුවට පහත සඳහන් පරිදි අරමුණාත්මක පියවර යෝජනා කරමි.  

‘මිශ්‍ර සාමාජික ඡන්ද’ (MMV) ක්‍රමය සඳහා සරල විකල්පයක්

 (අ) ඡන්ද සමානාත්මතාවය තහවුරු කරන  මූලික අරමුණ කරා.

 1) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස (DSD) ප්‍රධාන ඡන්ද කොට්ඨාස ලෙස හ¾දුනාගෙන ජනවිකාශනය, භූගෝලීය, වාර්ගික සහ සමාජ-ආර්ථික විචල්‍යයන් පිළිබඳ සංඛ්‍යාන දත්ත පැහැදිලිව සලකා බැලෙන  සීමා නිර්ණ වාර්තාව මත පදනම්ව, එම එක් එක් කොට්ඨාසයන්ට නිශ්චිත ආසන සංඛ්‍යාවක් තීරණය කරන්න.

 2) එක් එක් DSD හි ආසන දිනන පක්ෂවල වලංගු ඡන්ද එකතුවට සරල සමානුපාතික අංක ගණිතය යොදා ඒවා දිනාගත් ආසන සංඛ්‍යාව තීරණය කරන්න.

(ආ) ආසන පිරවීම සඳහා ගුණාත්මකභාවයෙන් පිරිපුන් සාමාජිකයන් සහතික කිරීමේ ද්විතීයික අරමුණ කරා.

1) ව්‍යවස්ථාවකින්  පාලනය වන සංවිධාන ලෙස තරග වදින පක්ෂ, තම අපේක්ෂකයන් තෝරා ගැනීමේදී, මැතිවරණ කොමිසම විසින් කාලානුරූපව ඉදිරිපත් කරන  අනිවාර්ය සුදුසුකම් සහ තේරීම් නිර්ණායක මාලාවක් සහ ව්‍යුහාත්මක සම්මුඛ පරීක්ෂණ යාන්ත්‍රණයක් අනුගමනය කර, එක් එක් DSD සඳහා කුසලතා පිළිවෙළින් මූලික ලැයිස්තු සකස් කළ යුතුය. එසේම, 25%ක සහභාගිත්වය සහතික කිරීම සඳහා කාන්තා අපේක්ෂිකාවන් කුසලතා ලැයිස්තුවේ ඉහළින්  ස්ථානගත කිරීම, සියලුම පක්ෂ සඳහා අනිවාර්ය විය යුතුය.

මෙම ක්‍රියාවලිය අනිවාර්ය  කළ යුතුව  ඇත්තේ, කුප්‍රකටව උපයා ගත්  මූල්‍ය ශක්තිය හා  දූෂිත පසුබිම් ඇති, අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැති, නුසුදුස්සන් අපේක්ෂකයන් ලෙස අඛණ්ඩව එදා සිට අද දක්වා ප්‍රධාන පක්ෂ විසින් ඉදිරිපත් කිරීම නිසාය. ඒ අහේතුවෙන්, අවාසනාවන්ත ඡන්දදායකයන්ට ‘බූරුවන්’  අතරින් ‘අශ්වයන්’ තෝරා පත් කර ගැනීමේ නිෂ්ඵල කාර්යයකට මුහුණ දීමටද  සිදුවී ඇත.

එසේම, ඉහත සඳහන් අනිවාර්ය නිර්ණායකයන්  බලාත්මක කිරීමත් සමඟ පක්ෂ නායකයන්ට තම හෙංචයියන් ඒකපාර්ශ්විකව අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කළ හැකිය යන විශ්වාසයද  ඡන්දදායකයන් විසින් නිසැකවම ඉවත දමනු ඇත.

 2) මහජනතාවගේ විරෝධතා සහ/හෝ අනුමැතිය සඳහා මූලික කුසලතා ලැයිස්තු බලධාරීන් විසින් කල්තියා පුවත්පත් මඟින් ප්‍රකාශයට පත් කළ යුතුය. අවසාන කුසලතා ලැයිස්තු අවශ්‍ය දිවුරුම් ප්‍රකාශන  සමඟ පක්ෂ විසින් ලියාපදිංචි කරන විට, නුසුදුස්සන් තවදුරටත් හ¾දුනාගතහොත් තේරීම් භාර නිලධාරීන්ට සහ මැතිවරණයෙන් පසු මැතිවරණ පෙත්සම් මඟින්ද  ඔවුන්ව ලැයිස්තුවෙන් ඉවත් කළ හැකිය. එවැනි අවස්ථාවන්ට මුහුණ දීම  සඳහා පක්ෂ විසින් අමතර නම් කිහිපයක් කුසලතා අනුපිළිවෙළට ලැයිස්තු ගත කළ යුතුය. මෙම ක්‍රමවේදය මනාව පිළිපැදීම තුළ ‘ගුණාත්මක’ අපේක්ෂකයන් නම් කිරීමේ  අරමුණ ඉටු වනු ඇත.

3) සාවද්‍ය සහ අද්භූත පොරොන්දු  වැළැක්වීම සඳහා වසර 4ක පක්ෂ ප්‍රතිපත්ති/ක්‍රියාකාරී වැඩසටහන් ‘නඩු නිමිත්තක්’  වන ලියවිල්ලක්  මට්ටමට උසස් කළ යුතු අතර එය පසුවිපරම් හා  විගණන ක්‍රියාවලියකටද  යටත් කළ යුතුය. එවැනි නීත්‍යනුකූල ප්‍රතිපත්ති/ක්‍රියාකාරී වැඩසටහනක් එල්ලේ විශ්වාසයෙන් යුතුව තම  ඡන්දය  ලබාදෙන පක්ෂය මූලික වශයෙන් තීරණය කිරීමට ඡන්දදායකයාට හැකි වේ. නව ක්‍රමවේදය තුළ ‘ගුණාත්මක’ අපේක්ෂකයන් සෑම පක්ෂයකම සිටිය යුතු බැවින් එය දෙවැනි කාරණයක් ලෙස  සැලකිය හැකිය.

 4) ප්‍රතිපත්ති/ක්‍රියාකාරී වැඩසටහනට නිසි ලෙස අනුගත වී ප්‍රතිඵල ලබා දීමට නම්, අදාළ පක්ෂ ධුරාවලියන් තමන්  ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ පූර්ණ අයිතිය ලබා ගත යුතුය. ඒ අනුව සමස්ත මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුත්තේ පක්ෂ ප්‍රධාන කාර්යාලය විසිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘ප්‍රචාරක මූල්‍යකරණය’ බලධාරීන්ට වඩා හොඳින් අධීක්ෂණය කළ හැකිය.

යෝජිත ක්‍රමයේ අනෙකුත් වාසි

1) ඡන්ද දායකයාට අවශ්‍ය වන්නෙ ‘ඔ’ සලකුණ යෙදීම, තමා තෝරාගත් පක්ෂ ලාංඡනය එල්ලේ පමණක් නිසා ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වීම.

2) ඉහත 01හි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව වැය කරන වියදම, කාලය සහ ශක්තිය විශාල ලෙස අඩු වීම.

3) DSD මට්ටමෙන් ඡන්ද ගණන් කිරීම නිසා හා මනාප ඡන්ද නොමැති නිසා අවසාන මැතිවරණ ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශ කළ හැකි වීම.

4) අපේක්ෂකයන්ට තම සීමිත DSD ප්‍රදේශය තුළ පවා ප්‍රචාරක කටයුතු සඳහා මුදල් යෙදවීමට අවශ්‍ය නොවන බැවින් මූල්‍ය ශක්තියක් නොමැති නමුත් සුදුසුකම් ඇති අයට ඉදිරිපත් වීමට හැකිවීම.

 5) ජයග්‍රාහක පක්ෂයේ  අදාළ ප්‍රතිපත්ති/ක්‍රියාකාරී වැඩසටහනට ප්‍රමුඛත්වය දෙමින්  DSDහි අරමුණු සහ කාර්යයන් ගම තුළ ප්‍රවර්ධනය කළ හැකි  උසස් ‘සාමාන්‍ය බුද්ධියක්’ සහිත ‘සංවර්ධන ප්‍රවර්ධකයන්’ ගෙන් සමන්විත නැණවත් සහ අව්‍යාජ කණ්ඩායමක්  ස්ථානගත වීම.

නිගමනය

ඉහත යෝජනා  සාක්ෂාත් කර ගැනීම සඳහා ‘පැෆ්රල්’, ‘කැෆේ’ සහ  ‘CMEV’ වැනි ශ්‍රී ලංකාවේ ‘ස්වෛරී ඡන්දදායකයාට කැප වූ’ සංවිධාන මෙම අවසාන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඡන්දයේ සමානාත්මතාව සහ මහජන නියෝජිතයන්ගේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට සහ අදාළ බලධාරීන්ට ඒත්තු ගන්වනු ඇතැයි මහත් සේ විශ්වාස කරමි.

එසේම ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්ව ජන ඡන්ද බලය නමැති  කඩතුරාවන්  යටතේ මිල අධික හා අරමුණු ඉටුනොවන මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සඳහා නීති සම්පාදකයන් ලෙස පාර්ලිමේන්තුවේ සියලුම ගරු මන්ත්‍රින්  සහ සරල යාන්ත්‍රණයන් සහ  ‘Out of the Box’  ක්‍රමයේ වෙනස්කම් අගයන රටේ විධායක ප්‍රධානියා ලෙස අතිගරු ජනාධිපතිතුමාද, ප්‍රඥාවෙන් යුතුව ඉහත යෝජනා සම්මත කර ගැනීම සහතික කරනු ඇතැයි බෙහෙවින් විශ්වාස කරමි.

එවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී හා සෞභාග්‍යයෙන්  සපිරි ශ්‍රී ලංකාවක් ලෙසින් අප රට ඉදිරියට ගමන් කරනු ඇත.

බර්නාඩ් ප්‍රනාන්දු