පිරිමි ළමයින්ගෙන් ටිකක් වැඩියෙන් ප්‍රතිචාර ලැබෙනවා

0
45

ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු නිසා හනා මේ දවස්වල කාර්යබහුලයිද? 

මේ දවස්වල නම් ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු තමයි ගොඩක්ම තිබෙන්නේ. ඊට අමතරව අලුත්ම ගීත කිහිපයක වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. 

අලුත් නිර්මාණවලට සහ ප්‍රසංග වේදිකාව තුළදී වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ පිරිමි ළමයින්ගෙන්ද? 

ගැහැනු පිරිමි භේදයක් නැහැ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේතාක් කරපු හැම නිර්මාණයකටම හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. සමස්තයක් විධියට ගත්තොත් පිරිමි ළමයින්ගෙන් ටිකක් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් විධියට තමයි මම දකින්නේ. 

ඔබ ‘The Voice Teens’ තරගාවලියට සම්බන්ධ නොවුණත් කවදාහරි සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තිබුණද? 

බලාපොරොත්තුවක් තිබුණා. මොකද මගේ පවුලේ අය සංගීතය පැත්තට ගොඩාක් නැඹුරු වුණු පිරිසක්. ඒ හුරුවත් එක්ක කවදාහරි සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තුව මෙච්චර ඉක්මනට සැබෑ කරගන්න හැකියාව ලැබුණේ වොයිස් ටීන්ස් වේදිකාව හරහා. එම තරගාවලියට සම්බන්ධ නොවුණා නම් මම මුලින්ම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඉන් පස්සේ සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්න තිබුණා.

‘The Voice Teens’  හරහා ඔබට ජාත්‍යන්තර මට්ටමේ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ කටයුතු කරන්නට අවස්ථාව ලැබීම කොහොමද දැනෙන්නේ? 

ඇත්තටම මේ වගේ පොඩි වයසකදි ඔවුන්ව ඇසුරු කරන්න, ඔවුන් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබීම භාග්‍යයක්. වොයිස් ටීන්ස් වේදිකාව හරහා කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පීන්ව හමුවෙන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් ඉගෙන ගන්න සෑහෙන දේවල් තිබුණා. සෑම කෙනෙක්ගෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳ දේවල් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා මගේ වැඩකටයුතුවලටත්. 

රියැලිටි තරගයක ජය පැරදුම තම ඉදිරි ගමනට බාධාවක් නොවන බව ඔබ සනාථ කරලා තිබෙනවා. ඒ ගැන මොනවද කියන්න තිබෙන්නේ? 

ගොඩාක් අය රියැලිටි තරගයකට සහභාගි වෙන්නේ මම කොහොම හරි මේ තරගය දිනනවාමයි කියන හැඟීමෙන්. මම හිතන්නේ තරගාවලිය තුළ අපි කොච්චර දුරක් යනවාද කියන එකට වඩා අපිට යන්න පුළුවන් දුර ඇතුළත අපි මොනවගේ දෙයක්ද කරන්නේ කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ. අපි අඳින පලඳින විධිය, අපේ කතා බහ, හැසිරීම, මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය, අපේ දක්ෂතාවය ගැන මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනි. ඒ අවබෝධයත් එක්ක කාලීනව අලුත් දෙයක් කරන්න අපි උත්සහ කරන්න ඕනි. දිනන්නම බලාගෙන මොනාම හරි කරනවාට වඩා මිනිසුන්ට අපිව මතක තිබෙන විධියේ දෙයක් කරලා තරගයෙන් අයින් වෙන්න වුණත් ප්‍රශ්නයක් නැහැ.  

නූතන තරගකාරී ගායන තරු හමුවේ ඔබව Icon  එකක් කරගැනීමට යොදන උපක්‍රම මොනවාද? 

සංගීත ක්‍ෂේත්‍රය තුළ අද වෙනකොට ගොඩාක් දක්ෂ අය සිටිනවා. සංගීතය හරහා තමන්ටම අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් ඉන්න පිරිසක් සිටිනවා. එතැනදි වයස් භේදය සහ ප්‍රවීණත්වය නොසලකා වුණත් ඒ හැමෝගෙන්ම ගන්න දෙයක් තිබෙනවා. සමහරවිට එයාලා දන්න දේ මම නොදන්නවා වෙන්න පුළුවන්. මම දකින, ඇසුරු කරන හැම කෙනෙක්ගෙන්ම යමක් ගන්න තිබෙනවා නම් ඒ හොඳ දේ මම ඉගෙන ගන්නවා. ඒ අත්දැකීම් එක්ක මම මටම ආවේණික වුණු දෙයක් නිර්මාණය කරන්න උත්සහ කරනවා. විලාසිතා කිරීම, ගීත ගායනය පැත්තෙන් වුණත් හැමෝම කරන දෙයක් කරන්න හදනවාට වඩා වෙනස් දෙයක් කරන්න උත්සාහ කිරීම වටිනවා. 

පහුගිය කාලයේ බොහෝ දෙනෙක් ඔබව විවේචනය කළා අනෙක් අයගේ ගීත ගායනා කරනවා, ඒ හරහා ජනප්‍රිය වෙන්න හදනවා කියලා. මෙවැනි තත්ත්වයන් දිහා ඔබ බලන්නේ මොන විදියටද?  

Covers, Mashup කියන දේ අද වෙද්දි ලෝකයේ හරිම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ලෝකයේ සමස්ත සංගීත ක්‍ෂේත්‍රය තුළ ලෙජන්ඩ්ස්ලා විධියට සලකන බොහෝ දෙනා තමන්ගේ ගමන පටන් අරගෙන තිබෙන්නේ මේ වගේ  cover එකක් හෝ mashup නිර්මාණයක් හරහා. අපි අපේ හැකියාවන් මුවහත් කරගන්නෙත් සංගීතය රසවිඳින්නෙත් තවත් කෙනෙක්ගේ ගීතයක් ගායනා කරලා. මම හිතන්නේ නැහැ ඒක මහ ලොකු දෙයක් කියලා. මම දැනට කරලා තිබෙන හැම සින්දුවක්ම මේ වෙද්දී නැරඹුම් මිලියනයකට වඩා තිබෙනවා. මම හිතන්නේ Mashup, Covers  කරනකොට වුණත් අලුත් විධියට හිතලා වෙනස් දෙයක් කළොත් හොඳයි කියලා. 

සංගීත ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යෑමේදී මොනවගේ අසීරුතාවලටද මුහුණපාන්න සිදු වුණේ?  බාහිර බලපෑම් එල්ල වුණේ නැද්ද? 

මම හිතන්නෙ ඒක ප්‍රශ්නයක් වෙන්නෙ එක එක අය ඉන්න විධියත් එක්ක. මම හැමවෙලේම උත්සහ කරන්නේ මගේ වයසට ගැළපෙන විධියට මට අවශ්‍යදේ කරන්න. අපි මොනා කළත් බාහිර බලපෑම්, ප්‍රශ්න  ඇති වෙන වෙලාවල් තිබෙනවා. නැත්තේ නැහැ. නමුත් මේ හැමදේම එක්ක තමයි අපේ ඉලක්කයට යන්න වෙන්නේ. ප්‍රශ්න ඇති වෙන දේවල් කරන්න උත්සහ නොකර තමන්ට ගැළපෙන දෙයක් කරන්න පුළුවන් නම් අපිට ක්‍ෂේත්‍රය තුළ ඉස්සරහට යන්න පුළුවන්. 

අනාගතයේදී වෘත්තීයමය ගායන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවාද? 

අනාගතයේදී අනිවාර්යයෙන්ම වෘත්තීයමය ගායන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මම නීතිඥ වෘත්තියට සම්බන්ධ වෙන්නත් කැමතියි. මේ දෙකම සමබරව කරගෙන ඉදිරියට යන්න උත්සහ කරනවා. 

මොනවද ඉදිරි සැලසුම්? 

ඉදිරියේදී අලුත් ගීත කිහිපයක් එන්න තිබෙනවා. ප්‍රසංග වේදිකාවේ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වුණත් අධ්‍යාපන කටයුතුත් හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

නිකේෂලා රණතුංග