නාමල් ශ්‍රී ලනිපයට පාඩම් කියාදිය යුතු නෑ

0
26


සවනි ශේශාධි 

ආදර්ශ සැපයීම පිළිබඳව නාමල් රාජපක්ෂ ශ්‍රීලනිපයට පාඩම් කියා දිය යුතු නැතැයි එහි ජේ‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ‘මව්බිම’ට පැවැසීය.

එක් පවුලක පස් දෙනකු වටා මෙරට ආර්ථිකය කේන්ද්‍රගත වී ඇති බවට ජාත්‍යන්තරය හෙළි කර ඇති පසුබිමක ලොවක් ඉදිරියේ නග්නවී ශ්‍රීලනිපය විවේචනය කිරීම කනගාටුවට කරුණක් බවද මහාචාර්යවරයා සඳහන් කළේය.අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට ශ්‍රීලනිපය ආදර්ශයක් වන්නේ නම් තමාද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කළ විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවැසීය.

“ඉදිරි කාලයේදී ශ්‍රීලනිපය ඒ ආදර්ශය සැපයීමට සූදානම්. ඊටත් වඩා අපට කැප කිරීම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂ අපිට කියල දෙන්න ඕනේ නැහැ ආදර්ශ සපයන විධිය ගැන. මේ ආර්ථික අර්බුදයක් තියෙන කාලේ මැති ඇමැතිවරුන්ගේ ගාණ අඩු කරනවා විතරක් නෙවේ අනවශ්‍ය ආරක්ෂක වියදම්, කාර්ය මණ්ඩල වියදම් වගේ ගොඩක් දේවල් අඩු කරන්න පුළුවන්.

මේ රටේ මේ වෙද්දී ජාතික ප්‍රමුඛතාව තියෙන්නේ ඇවිදින මංතීරු හදන එකද? එහෙම නැත්නම් කොන්ක්‍රීට් පාරවල් උඩින් ආයේ කාපට් එළන එකද? කියන එක ප්‍රශ්නයක්. එදිනෙදා වේල පිරිමහගන්න මිනිස්සු කොයි තරම් දුක් විඳිනවද. කුඩා දරුවෝ කර පින්නාගෙන අවදානම් ගමනක් බව දැන දැනම සමහරු ඉන්දියාවේ යනවා. එවැනි වටපිටාවක මැති ඇමැතිවරු විඳින සුඛවිහරණ ගැන ජාත්‍යන්තර ක්ෂේත්‍රය පවා කතා කරනවා. රටේ සමස්ත අය-වැය ලේඛනයෙන් සියයට හැට ගාණක් විතර එක පවුලක පස් දෙනෙක් වටා කරකැවෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය පවා කතා වෙනවා. ඒ තරමට නග්න වෙලා තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචන කිරීම කනගාටුවට කරුණක්.”