දෙමටගොඩ රුවන්ට ඇප දෙන්න කෝටි11/2 ක් ගත් අය අතර CID නිලධාරියකුත්

0
28


රුපියල් කෝටි ගණනකින් වත්කම් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 150ක් ලබාගත් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියකුද සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

දෙමටගොඩ රුවන් නමැත්තාගේ පාර්ශ්වයෙන් ලබාදී ඇති මෙම රුපියල් ලක්ෂ 150 ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ ඇති එක්තරා කොට්ඨාසයක නිලධාරියකුද දායක වී ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබේ. 

දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබාදෙන බව කියමින් රුවන්ගේ පුතාගෙන් පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම රුපියල් කෝටි එක හමාර ලබා ගෙන ඇති අතර ඉන් එක් අයකු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බැව් කියන පුද්ගලයෙකි. අනෙක් තැනැත්තා නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකුගේ සමීපතමයකු ලෙස පෙනී සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 

පසුව මේ සම්බන්ධයෙන් දෙමටගොඩ රුවන්ගේ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ. එහිදී ඔහු රහස් පොලිසියට පවසා ඇත්තේ සිය පියා නිදහස් කර දෙන බව පවසා අවස්ථා හතරකදී මෙලෙස මුදල් ලබා දුන් බවයි. මේ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාදී තිබියදී එම විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙතද පවරා තිබිණි.

දැනට වාර්තාවන අන්දමට මෙම රුපියල් කෝටි එකහමාරෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටල් සංකීර්ණයකට ගිය ගමනට මෙම රහස් පොලිස් නිලධාරියාද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.

අමාත්‍යවරයකුගේ සමීපතමයන් බව කියමින් ඉතිරි මුදල ලබාගෙන ඇති බව සඳහන් වේ.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පවරා තිබුණද රටේ ඉහළම බලධාරියකු විසින් මම විමර්ශනය යළි රහස් පොලිසිය වෙත පවරා ඇතැයිද වාර්තා වේ.