දෙමටගොඩ ගුවන් පාලමේදී සුපිරි රියක් ගිනි ගනී

    0
    30


    කොළඹ _ ජයසිංහ

    දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මතදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පෙරේදා (26දා) ගිනි ගැනීමට ලක්වී ඇතැයි දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.එස්. ජයරත්න මහතා පැවැසීය.

    බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනකු සිට ඇති බවත් ගින්නෙන් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැත. මෝටර් රථයේ එන්ජිම කොටසෙන් ගිනි ගැනීම සිදුවී ඇති අතර ඒ සමඟම එම ප්‍රදේශය දුමාරයකින් වැසී යෑමත් සමඟම ඒ හරහා ගමන් ගත් සියලුම වාහන මඳකට නතර කිරීමට පියවර ගත් බව ස්ථානාධිපතිවරයා කීය.

    කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ තුනක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ වනවිටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්වී තිබිණි. මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් කඩුවෙල පදිංචිකරුවන් වන අතර ගිනි ගැනීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත.

    දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.