දිල්ලි පිලට පෙරළිකාර ජයක්

0
18


15 වැනි අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ඊයේ සවස් භාගයේදී අවසන් වූ මුම්බායි ඉන්දියන් සහ දිල්ලි කැපිටල්ස් තරගයෙන් කඩුලු 5ක පෙරළිකාර ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස්ට හැකිවිය. 

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළදී මුම්බායි ඉන්දියන් කඩුලු 5කට ලබාගත් ලකුණු 177ට පිළිතුරු සැපයූ දිල්ලි කැපිටල්ස් පිලේ කඩුලු 6ක් ලකුණු 104ක් තුළදී බිඳ වැටුණුද හත්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 74ක සබඳතාවක් ගොඩනැගූ ලලිත් යාදව් සහ අෂාර් පටෙල් කඩුලු 4ක විශිෂ්ට ජයක් කරා දිල්ලි පිල රැගෙන ගියහ. 

එහිදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ඉෂන් ක්‍රිෂන් පන්දු 48කට මුහුණ දී හතරේ පහර 11ක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 81ක් ලබාගත්තේය. 

මේ අතර අයි.පී.එල්. තරගාවලියේ සමාරම්භක තරගයෙන් චෙන්නායි සුපර් කිංස් පිලට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කල්කටා නයිට් රයිඩර්ස් පිල පෙරේදා සමත් විය.

එම තරගයේ පළමුව ලකුණු රැස්කළ චෙන්නායි පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131කි. මෙහිදී මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 50ක් රැස්කළ අතර, අයි.පී.එල්. ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙස චෙන්නායි පිලේ හිටපු නායක දෝනි මෙහිදී වාර්තා අතරට එක්විය. 

පිළිතුරු ඉනිම දියත් කළ කල්කටා පිල පන්දුවාර 18කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. කෙසේ වෙතත් මෙහිදී අයි.පී.එල්. තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී  ලංකාවේ ලසිත් මාලිංග පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට බ්‍රාවෝ සමත් විය. ඒ අනුව ලසිත් මාලිංග තරග 122කදී කඩුලු 170ක් දවාගෙන ඇති අතර, බ්‍රවෝ තරග 152කදී කඩුලු 170ක් දවාගනිමින් එම වාර්තාව සම කළේය. 

ලකුණු සාරාංශ 

මුම්බායි-දිල්ලි තරගය

මුම්බායි – 177/5 (ඉෂන් ක්‍රිෂන් 81, රෝහිත් ෂර්මා 41, කුල්දීප් යාදව් 3/18)

දිල්ලි – 179/6 (ලලිත් යාදව් නොදැවී 48, අෂාර් පටෙල් නොදැවී 38, ප්‍රිතිව් ෂෝ 38, බසිල් තම්පි 3/35)