දැව ලොරියක ගැටුණු ලොතරැයි නියෝජිතයාට ඇවිදගන්න බෑ

0
31


ලුණුවිල – රෝස් කොලින්

ලුණුවිල – කිරිමැටියාන ප්‍රධාන මාර්ගයේදී බලපත්‍ර රහිතව අඳුරේ දැව පටවාගෙන පැමිණි ලොරියක ගැටුණු ලොතරැයිපත් අලෙවි නියෝජිත යතුරුපැදිකරුවකුගේ වම්පාදයට බරපතළ තුවාල වී ඇත. මේ වනතෙක් රැකියාව අහිමිව නිවෙසට වී සිටියද වරද කළ පාර්ශ්වය ඔහුගේ සුවදුක් බැලීමට හෝ ඔහුට යම් වන්දි මුදලක් ලබාදීමට හෝ ඉදිරිපත් වී නැත.

අනතුරින් වම්පාදයට බරපතළ තුවාල වී ඇත්තේ කිරිමැටියාන අක්කර 80 ප්‍රදේශයේ ලොතරැයිපත් අලෙවි නියෝජිතයකු වන එච්.එම්. සෝමරත්න මහතායි.

සෝමරත්න මහතා මාධ්‍යයට මෙසේ කීය.

“මම පසුගිය මස 23 දින රාත්‍රි 7.30ට පමණ ලුණුවිල සිට කිරිමැටියාන දක්වා යතුරුපැදියෙන් එමින් සිටියා. මා එනවිට ලුණුවිල තිල්ලවල පාරට හරවා දැව පැටවූ ලොරියක් නවතා තිබුණා. එහි එක් දැව කඳක් ප්‍රධාන පාරට දික්වී තිබුණත් එය මට නොපෙනුණ නිසා මගේ යතුරුපැදිය දැව කඳේ ගැටී මාව විසිවී වැටුණා. ලුණුවිල උදාසිරිගම පොලිසිය ස්ථානයට පැමිණිවිට දැනගත හැකි වූයේ ලොරියේ දැව ප්‍රවාහනය කර ඇත්තේ බලපත්‍රයක් නොමැතිව බවයි. විදුලි බුබුළක් හෝ  නොමැතිව එය අඳුරේම නවතා තිබීම එක් දැව කඳක් ප්‍රධාන බස් මාර්ගය දක්වා දික්ව තිබීම නිසා අනතුර වුණා. 

ඔවුන් වරද පිළිගත්තත් මේ දක්වා මට එක ශතකයක හෝ වන්දියක් ලැබුණේ නෑ. මගේ වම් දණිහ ළඟ පාදයේ ඇටයක් පුපුරා ගොස් ඇති නිසා මාස කිහිපයක්ම ප්‍රතිකාර ගන්න වෙයි කියා වෛද්‍යවරයා කීවා. දින 05ක් ප්‍රතිකාර ගැන්මට මාකඳුරට ගියා. එක් දිනකට රුපියල් 2500ක් පමණ වැය වෙනවා. මාව අනතුරට ලක්කළ අය අදත් නිහඬයි. කියන්න කෙනෙක් නැහැ. මට රැකියාවත් නැහැ. ජීවත්වන්න මඟකුත් නැහැ. මුළු දරු පවුලම අන්ත අසරණ වෙලා.

ලුණුවිල උදාසිරිගම පොලිසිය මැදිහත්ව ලොරි හිමියා කැඳවා මට යම් වන්දි මුදලක් ලබාදීමට මැදිහත් වුණොත් පින් අයිතිවෙනවා.”