තෙල් ගන්න ඇවිත් වාහනය තුළම මිය ගිහින්

0
22


පන්නිපිටිය – හෂාන් පුෂ්පික

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයකු පෙරේදා (26දා) සිය මෝටර් රථය තුළදීම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පැවැසීය.

මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාර, අංක 191/01හි පදිංචිව සිටි මයිලන්ගේ ජිනදාස පෙරේරා නමැති 85 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවැසීය. මෙම පුද්ගලයා 26දා උදෑසන 8.30ට පමණ අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීම සඳහා වෑන් රථයකින් පැමිණ ඇති අතර ටික වේලාවක් යනතුරු නවතා තිබූ ස්ථානයෙන් වාහනය ඉවත් නොකිරීම නිසා අවට සිටි පුද්ගලයන් විපරම් කිරීමේදී ඒ තුළ සිටි පුද්ගලයකු වාහනය තුළම සිහිසුන්ව ඇද වැටී සිටිනු දැක ඇතැයි පැවැසේ.

පසුව පිරිස් එක්ව සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා ප්‍රතිකාර සඳහා අතුරුගිරිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවය. ඒ අනුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් කැඳවා තොරතුරු ලබාගැනීමේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ මියගිය පුද්ගලයා හෘද රෝගයකින් පෙළෙන්නකු බවය.

සිද්ධිය වන අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලෙහි කිසිදු තදබදයක් හෝ තිබී නොමැති බවද පැවැසේ. මියගිය පුද්ගලයාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.