ත්‍රීවීල්-යතුරුපැදි ගැටුමෙන් 14 හැවිරිදි දැරිය මරුට

0
21


බිබිල – නඳුන් ගුණතිලක 

තණමල්විල – උඩවලව මාර්ගයේ 34 කණුව අසලදී පෙරේදා (26දා) ත්‍රීවීල් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ සිටි 14 හැවිරිදි දැරියක් මියගොස් ත්‍රීවීල් රථයේ රියැදුරුත් මියගිය දැරියගේ මවත් යතුරුපැදිකරුත් බරපතළ තුවාල ලබා ඇතැයි තණමල්විල පොලිසිය පැවැසීය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ උෟව-කුඩාඔය බෝධිගම 36 කණුව අසල පදිංචි පරලහීන්ගේ සචිනී මධුෂිකා (14) නමැති දැරියකි.

මියගිය දැරිය තම මව, ඥාති සහෝදරයකු සහ සිය සහෝදරයා සමඟ කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසකට යමින් සිටියදී ත්‍රීවීල් රථයේ රියැදුරුගේ ජංගම දුරකථනය මාර්ගයට වැටී ඇති අතර එය ගැනීම සඳහා ත්‍රීවීල් රථය එකවරම හැරවීමට යෑමේදී උඩවලව ප්‍රදේශයෙන් පැමිණි යතුරුපැදියක් ත්‍රීවීල් රථයේ ගැටී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ මියගිය දැරිය, ඇයගේ මව, ත්‍රීවීල් රථය පැදවූ දැරියගේ සහෝදරයා සහ යතුරුපැදිකරු තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර දැරිය එහිදී මියගොස් ඇත.

දැරියගේ මව සහ යතුරුපැදිකරු හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති අතර ත්‍රීවීල් රථයේ රියැදුරු තණමල්විල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

තණමල්විල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප කේ.එස්. කොඩිතුවක්කු මහතා පරීක්ෂණ පවත්වයි.