ජනතා ප්‍රශ්න දිහා බලා සහනයක් දෙන වැඩපිළිවෙළකට යනවා

0
32


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අපට අමාරු කාලයක් තියෙන්නේ, ඒ අමාරු කාලය පිළිගන්න ඕන. හැබැයි ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා සහනයක් ලබාදෙන වැඩපිළිවෙළකට යනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතාතේ දේශපාලන දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පැවැති උපහාර පිදීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා මේ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද වැඩම කළහ. 

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

අවුරුදු 20 දේශපාලනය ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරල මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගත්ට අපි සුබපතනවා. 

මොකද ජගත් එකපැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේම මුළු ලංකාවෙම සමෘද්ධි ව්‍යාපාරිකයන් වෙත නායකත්වය දෙන්නත් ඔහුට ශක්තිය තිබුණා. ඒ නිසා අපි ඔහුව හඳුන ගත්තේ එක ප්‍රදේශයක නායකයෙක් වශයෙන් නෙමෙයි. රටේම වැඩිදෙනකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.

එතුමා හැම වෙලාවෙම ජනතාවාදිව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න ඔහු පාර්ලිමේන්තුවේ කතා කළාට කණ්ඩායමේ හිටියා. ඔහු දන්නවා කණ්ඩායමේදී කතා කළ යුත්තේ මොනවාද, පක්ෂ නායකයන් ඉදිරියේ කතා කළ යුත්තේ මොනවාද ඒ වගේම ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ යුත්තේ මොනවාද, නොකළ යුත්තේ මොනවාද කියන එක පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කළා. සමහරු දේශපාලනික වශයෙන් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා කටයුතු කරන්න අපොහොසත්. 

ඔවුන්ට විවේචනය කරන්න පුළුවන්. හැම කටයුත්තම විවේචනය කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඔවුන්ට වගකීමක් භාරදුන්නම ඒ වගකීම කරන්න පුළුවන්කමක් නැති බව ඉතිහාසයේ පෙන්නල තියෙනවා. ඒ නිසා අපිට අමාරු කාලයක් තියෙන්නේ. ඒ අමාරු කාලය පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ඔබට ලැබිය යුතු සියලු දේ ලබාදෙනවා. අපිට හැකි හැම දෙයක්ම ලබාදෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්න බව මම මේ අවස්ථාවේදී කියනවා.

අද අපිට ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්‍රශ්න ඒ තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළකට යන්න කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කළ යුතුව තියෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී ‍ෙදාලවත්ත, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු මහජන නියෝජිතයෝ සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.